August 8, 2025

රට පුරා රෝහල්වලට ප්‍රමිතියෙන් තොර ප්‍රතිශක්තිකරණ එන්නත් බෙදා හැරීම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන ආන්දෝලනාත්මක ඖෂධ සමාගමක හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු විසින් ගොනු කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ විසින් මෙම නියෝගය නිකුත් කරමින් පැවසුවේ, මෙම නඩුව දැනටමත් මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වෙමින් පවතින බැවින් ඇප ඉල්ලීම තම අධිකරණයට සලකා බැලිය නොහැකි බවයි.

සැකකරුට අදාළ කිසිදු නඩුවක් දැනට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග නොවන බවත්, එබැවින් මේ සම්බන්ධයෙන් ඇප නියෝගයක් නිකුත් කිරීමට ඇයගේ අධිකරණයට බලයක් නොමැති බවත් විනිසුරුවරිය වැඩිදුරටත් පැහැදිලි කළාය.

එන්නත් බෙදා හැරීමේ සිද්ධියේ මූලික විත්තිකරු ලෙස හඳුනාගෙන ඇති සැකකරු තමා වසර එකහමාරකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බවත්, මීට පෙර මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් පවසමින් ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබිණි.

එමෙන්ම ඔහු සිය නීතිඥවරයා මාර්ගයෙන් මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙර නියෝගය සංශෝධනය කර ඇප ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත්, එම අයදුම්පත නඩුව මෙහෙයවන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වෙත ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරිය නියම කළාය.