June 3, 2026

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනුකර ඇති ‘කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව’ පවත්වාගෙන යෑමට කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුවක් අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (03) අවසර ලබාදුන්නේය.

ඒ අනුව, අදාළ පෙත්සම විභාග කිරීම සඳහා ලබන ජුනි මස 16 වැනිදා අධිකරණය හමුවේ කැඳවන ලෙස ද දින නියම කෙරිණි.

අභියාචනාධිකරණය හමුවේ අද දින මෙම පෙත්සම දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව පවතින කුමන්ත්‍රණ චෝදනාව ඉදිරියටම පවත්වාගෙන යා හැකි බවට කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කර තිබිණි.

යෝෂිත රාජපක්ෂ සිය ප්‍රතිශෝධන පෙත්සම මඟින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මහාධිකරණය දුන් එම නියෝගය නීතියට පටහැනි බැවින් එය බලරහිත කරන ලෙසය.

මෙම පෙත්සම අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනීසිටියේය.