June 8, 2023

‘දූෂිත පොලිස් දෙපාර්තමේන්තුව’ විසින් තමාගේ අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවත්, නීතීඥවරයකුද වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තමා සම්බන්ධ සිද්ධිය පිළිබඳව ජනමාධ්‍ය වෙත අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් චෝදනා කරයි.

සිය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය වී යැයි පවසමින් කතානායකවරයා වෙත ලිපියක් යොමුකරන මන්ත්‍රීවරයා ඉල්ලා ඇත්තේ, එම උල්ලංඝනයන්ට වගකිවයුතු පාර්ශ්වවලට එරෙහිව කටයුතු කරන ලෙසයි.

එසේම ‘දිවයින’ පුවත්පත විසින්ද තමා ‘පළාගිය’ බවට ප්‍රධාන සිරස්තලයක් ඔස්සේ අසත්‍ය තොරතුරු වාර්තා කර ඇති බවද මන්ත්‍රීවරයා සිය ලිපියෙන් පෙන්වාදී තිබේ.

එම ලිපියේ මෙසේද සඳහන් වේ.

“කථානායකතුමනි… නීතීඥවරයකුද වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අසත්‍ය ප්‍රකාශ කිහිපයක් කරමින් සිටියි. මෙම සියලු ප්‍රකාශයන් පොලිස් පරීක්‍ෂවල නිල ස්‌ථාවරය ලෙස ප්‍රකාශ කර ඇති අතර, ඊයේ වනතුරුත් සිද්ධිය සම්බන්ධයෙන් මගේ ප්‍රකාශය ලබාගෙන නොමැත. ජූනි 02 වැනිදා සිදුවීමට පොලිසිය පාර්ශ්වකරුවකු වී තිබියදීත්, සිංහල සහ ඉංග්‍රීසි ජනමාධ්‍ය කිහිපයක් පොලිසියේ සිද්ධීන් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගෙන අමූලික අසත්‍ය හෝ අවම වශයෙන් නොමග යවන පුවත් රැසක් පළ කර ඇත. විශේෂයෙන් දිවයින පුවත්පත මම සැඟවී සිටි බවට ජුනි 07 වැනිදා ප්‍රධාන පුවතක් පළ කළා.

කථානායකතුමනි, මගේ පියා රාජ්‍ය පාලනයෙන් ඝාතනය කරනවිටත් මම හෝ මගේ පවුලේ අය පළාගියේ නැහැ. යුද්ධයේ උච්චතම අවස්ථාව වන විටත් සුදු වෑන් පැහැරගැනීම් සහ දෙමළ ජනතාවට එරෙහිව නීති විරෝධී ඝාතන සිදුවෙද්දීත් මම පැනලා ගියේ නැහැ. දැන්, පොලිසිය සම්පූර්ණයෙන්ම දූෂිත, දෙමළ ජනතාව මත රාජ්‍ය භීෂණය මුදා හරින ආයතනයක් බවට සම්පූර්ණයෙන්ම පත්ව තිබෙනවා. ඇත්ත වශයෙන්ම මගේ සහ මගේ මිනිසුන්ගේ අවශ්‍යතාවය වන්නේ එය කුමක් සඳහාද යන්න හෙළිදරව් කිරීමයි.

තමන්ගේම පොලිස් ස්ථානාධිපතිවරයකු විසින් සිදු කළ හැකි අපරාධවලින් ද සමන්විත මෙම සිද්ධිය විමර්ශනය කිරීමට අවසානයේ දී පොලිස් දෙපාර්තමේන්තුවටම සිදුවන බව සලකන විට, පොලිස් දෙපාර්තමේන්තුව දැනටමත් මට එරෙහිව අහිතකර නිගමනවලට එළැඹී තිබීමෙන් අදහස් වන්නේ මගේ අයිතිවාසිකම් සමස්ත දෙපාර්තමේන්තුව විසින් උල්ලංඝනය කර ඇති බවයි. මා සහ මා හා සම්බන්ධ අයිතීන් කඩ වී ඇති අනෙකුත් පුද්ගලයන් සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතීව මෙම කාරණය විමර්ශනය කරන්න.”