August 21, 2026

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික බිෂොප්වරුන්ගේ සම්මේලනය සිය දැඩි කනස්සල්ල පළ කර ඇත.

අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ බලතල බෙදීමේ සද්ධාන්තය සෑම විටම සුරක්ෂිත කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කරති.

ශ්‍රී ලංකා කතෝලික බිෂොප්වරුන්ගේ සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා රදගුරුතුමන් සහ ලේකම් ජනරාල් ඇන්ටන් රංජිත් රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, සාධාරණත්වය ඉටුකිරීමට, මූලික අයිතිවාසිකම් සුරැකීමට, මානව ගෞරවය රැක ගැනීමට සහ ප්‍රජාවගේ යහපත උදෙසා ස්වාධීන හා පක්ෂපාතී නැති අධිකරණ පද්ධතියක් අත්‍යවශ්‍ය බවයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් වන පරිදි සකස් විය යුතු බවත් අත්දැකීම් සහිත විනිසුරුවරුන් සේවයේ රඳවා ගැනීම, විනිසුරු හිඟයට පිළියම් යෙදීම සහ අධිකරණ ක්‍රියාවලියේ ප්‍රමාදයන් වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ විය යුතු බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

අධිකරණයට බලපාන යම් සංශෝධනයක් හෝ වෙනසක් සිදු කරන්නේ නම්, අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම සාධාරණත්වය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය ආරක්ෂා වන පරිදි ඉතා දැඩි සැලකිල්ලකින් යුතුව එය කළ යුතු බව බිෂොප්වරුන්ගේ සම්මේලනය වැඩිදුරටත් අවධාරණය කරයි.