November 24, 2026

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ විවේචන හමුවේ, තමන් සමඟ පැවති හමුවක් පිළිබඳව පළ කළ ෆේස්බුක් සටහන ඉවත් කිරීමට බ්‍රිස්බේන් නාගරික මන්ත්‍රී ග්‍රෙග් ඇඩර්මන් ගත් තීරණයෙන් අනතුරුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ක්‍රියාකාරී මිලින්ද රාජපක්ෂ ඔහු වෙත දැඩි විවේචනයකින් යුතු ලිපියක් යොමු කර තිබේ.

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් හමුවන මිලින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ඇතුළු ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලනඥයන්ට එරෙහිව සිදුවන බව කියන දේශපාලන අසාධාරණකම් පිළිබඳව ද එහිදී අදහස් දක්වමින් සිටියි.

නාගරික මන්ත්‍රී ඇඩර්මන්, මිලින්ද රාජපක්ෂව බ්‍රිස්බේන් නගරයට පිළිගනිමින් ඔහු සමඟ ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගැනීමත් සමඟ මෙම මතභේදය ආරම්භ විය. කොළඹ මහ නගර සභාවේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මීට පෙර දැරූ තනතුරු ඇතුළුව රාජපක්ෂගේ දේශපාලන පසුබිම පිළිබඳව ඇඩර්මන් සිය මුල් සටහනේ සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළු සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් එම සටහනට දැඩි විවේචන එල්ල වූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු හමුවීමට මන්ත්‍රීවරයා ගත් තීරණය ඔවුන්ගේ ප්‍රශ්න කිරීමට ලක් විය.

එම විවේචනවලට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රී ඇඩර්මන්, මෙම හමුවීම හේතුවෙන් සිත් රිදවීමකට හෝ අපහසුතාවයකට පත් වූ පිරිසගෙන් සමාව අයැද සිටියේය. “රාජපක්ෂ  හමුවීමට එකඟ වීමෙන් ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන්ගේ සිත් රිදවීමක් හෝ අපහසුතාවයක් සිදු වූයේ නම් මම සමාව අයැද සිටිනවා,” යනුවෙන් ඔහු සඳහන් කර තිබුණි.

තමන් අවස්ථානුකූලව නගරයට පැමිණෙන විදේශීය ප්‍රභූවරුන් හමුවී පිළිගන්නා බව පැහැදිලි කළ මන්ත්‍රීවරයා, මෙම හමුව ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලන ස්ථාවරයක් අනුමත කිරීමක් නොවන බව අවධාරණය කළේය. මෙම කරුණ සංවේදී සහ බෙදීම් ඇති කරන්නක් ලෙස හඳුන්වමින්, තමන් පළ කළ මුල් ෆේස්බුක් සටහන ඉවත් කරන බව ඔහු පසුව නිවේදනය කළේය.

මෙම සිදුවීමෙන් අනතුරුව මිලින්ද රාජපක්ෂ, ඇඩර්මන් වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින් හමුවීම පිළිබඳව ස්තූතිය පළ කළ අතර, ශ්‍රී ලංකා රජය සහ පාලක ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් දැඩි ලෙස විවේචනය කළේය.

ඕස්ට්‍රේලියාවේ සිටින ආධාරකරුවන් ද ඇතුළුව පාලක පක්ෂයට සම්බන්ධ පුද්ගලයන් විසින් නාගරික මන්ත්‍රීවරයා ඉලක්ක කර ගනිමින් සංවිධානාත්මක අන්තර්ජාල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර ඇති බව රාජපක්ෂ සිය ලිපියෙන් චෝදනා කර තිබේ. අපහාසාත්මක ප්‍රතිචාර, සමාජ මාධ්‍ය ඔස්සේ දක්වන ලද සෘණාත්මක ප්‍රතික්‍රියා, අප්‍රසන්න ඡායාරූප සහ තර්ජනාත්මක විද්‍යුත් තැපැල් පණිවිඩ ඊට ඇතුළත් වූ බව ඔහු පවසයි.

ඒකාධිපති දේශපාලන ක්‍රමවලට සමාන කරමින්, දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව බිය ගැන්වීම් සහ අන්තර්ජාලය ඔස්සේ හිරිහැර කිරීම් සිදු කරන බවට මිලින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා රජයට වැඩිදුරටත් චෝදනා කළේය.

තමන් හමුවීම නිසා පමණක් ඇඩර්මන්ට මෙවැනි විවේචනවලට මුහුණ දීමට සිදුවීම පිළිබඳව කනගාටුව පළ කළ ඔහු, එම ක්‍රියාවන්ට සම්බන්ධ වූවන් සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය නොකරන බව ද සඳහන් කළේය. එමෙන්ම සිය අධ්‍යාපනය, අන්තර්ජාතික අත්දැකීම් සහ විදේශීය දේශපාලන නායකයන් හා රාජ්‍ය නිලධාරීන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට දරන උත්සාහයන් ගෙනහැර දක්වමින් ඔහු සිය දේශපාලන පසුබිම ආරක්ෂා කරමින් කරුණු දක්වා තිබේ.

මෙම මතභේදාත්මක තත්ත්වය මධ්‍යයේ වුවද, හමුවේදී දැක්වූ ආගන්තුක සත්කාරය වෙනුවෙන් ඇඩර්මන්ට ස්තූතිය පළ කළ මිලින්ද රාජපක්ෂ, අනාගතයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ද ඔහුට ආරාධනා කර ඇත.