July 26, 2026

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ පවත්වාගෙන ගිය දහම් පාසල තානාපති අමීර් අජ්වල් මහතාගේ නියෝගයකින් නතර කර ඇති බවටත්, බෞද්ධ ආගමික කටයුතුවලට බාධා එල්ල කර ඇති බවටත් පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ විකෘති කළ තොරතුරු මත පදනම් වූවක් බව රියාද් ශ්‍රී විජය බෞද්ධ දහම් පාසලේ ප්‍රධානාචාර්ය සහ ප්‍රාරම්භක සාමාජික අතුල කුමාරසිංහ පවසයි.

2007 වසරේදී මෙම දහම් පාසල ආරම්භ කිරීමට මුල් වූ ප්‍රාරම්භක සාමාජිකයෙකු මෙන්ම පසුගිය දශකයකට අධික කාලයක් එහි ආචාර්ය මණ්ඩල නායකත්වය දරන ඒ මහතා, කරුණු නිවැරදි කරමින් විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

2007 වසරේ සිට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ශ්‍රී විජය බෞද්ධ දහම් පාසල පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව අවශ්‍ය පහසුකම් ලබා දී තිබූ බවත්, මෑතකදී තානාපති කාර්යාලය පෙර පැවති ස්ථානයට වඩා සීමිත ඉඩකඩක් සහිත නව පරිශ්‍රයකට ගෙනයාම හේතුවෙන් දහම් පාසලේ කටයුතු මාස කිහිපයකට තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බවත් ඔහු පෙන්වාදෙයි. එය කිසිසේත්ම දහම් පාසල වසාදැමීමක් හෝ මුළුමනින්ම නතර කිරීමක් නොවන බව හේ අවධාරණය කරයි.

රියාද් ශ්‍රී ලංකා අන්තර්ජාතික පාසලේ 2026/2027 නව අධ්‍යයන වර්ෂය ආරම්භ වන 2026 සැප්තැම්බර් මාසයේ සිට දහම් පාසලේ කටයුතු ද යළි සුපුරුදු පරිදි ආරම්භ කිරීමට නියමිතය. පවතින ඉඩකඩ සීමාවන් මධ්‍යයේ වුවද, තානාපති කාර්යාල ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉහළ සහ පහළ මාලයන්හි අවශ්‍ය ඉඩකඩ වෙන්කර දීමට තානාපතිවරයා මීට මාස කිහිපයකට පෙරම අනුමැතිය ලබා දී ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව ප්‍රධානාචාර්යවරයා සඳහන් කරයි.

එසේම, 2026 මැයි මාසයේ පැවැති වෙසක් උත්සවයට අදාළව වෙසක් භක්ති ගීත පුහුණුවීම්, දරුවන් සහ දෙමාපියන් සිය ගණනකගේ සහභාගිත්වයෙන් පුරා මාසයක කාලයක් තානාපති කාර්යාල පරිශ්‍රයේදීම පවත්වා ඇත්තේ තානාපතිවරයාගේ පූර්ණ අවසරය සහ අනුග්‍රහය ඇතිවය.

ප්‍රධාන වෙසක් උත්සවයට දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහභාගී වන බැවින්, තානාපති කාර්යාල පරිශ්‍රයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා තානාපතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් සෞදි බලධාරීන්ගේ නිසි අවසරය ලබාගෙන එම උත්සවය වෙනත් විශාල පරිශ්‍රයක සාර්ථකව සංවිධානය කර ඇත.

එබැවින් වෙසක් උත්සවය හෝ ආගමික වැඩසටහන් තානාපතිතුමන් විසින් නතර කළ බවට පැතිර යන ප්‍රකාශ ද ජනතාව නොමඟ යවන සුළු, සත්‍යයෙන් තොර ප්‍රකාශ බව රියාද්හි වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව හොඳින් දන්නා බව අතුල කුමාරසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.