June 17, 2026

පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කොළඹ අගරදගුරුතුමන් වෙත කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් හෝ දැනුම්දීමක් කර නොතිබූ බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රකාශක, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ අද (17) ප්‍රකාශ කළහ.

කාදිනල් හිමිපාණන් මෙම විනාශය පිළිබඳව දැනගත්තේ අප්‍රේල් 21 වැනිදා උදෑසන, කොළඹ අගරදගුරු නිවසේදී පෞද්ගලික දේව මෙහෙයක් පවත්වා අවසන් කිරීමෙන් පසුව බව ද උන්වහන්සේ සඳහන් කළහ.

කාදිනල් හිමියන්ගේ ආරක්ෂක නිලධාරීන් විසින් ප්‍රහාරය පිළිබඳව උන්වහන්සේව කළින් දැනුවත් කර තිබූ බවට එල්ල වන චෝදනා ද සිරිල් ගාමිණී පියතුමා ප්‍රතික්ෂේප කරති.

“කාදිනල් හිමියන්ට ප්‍රහාරය එල්ල වීමට පෙර කිසිදු ආරක්ෂක නිලධාරියෙකු හෝ ආරක්ෂාවක් සපයා තිබුණේ නැහැ. එනිසා ආරක්ෂකයන් උන්වහන්සේව දැනුවත් කළා කියන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයි. උන්වහන්සේ වෙනුවෙන් ආරක්ෂක කණ්ඩායමක් ලබාදුන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වීමෙන් පසුවයි” යැයි සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් අවධාරණය කළහ.