August 11, 2026

ආහාර පිසීම සඳහා දර භාවිත කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය මඟින් පළවන අසත්‍ය වාර්තා හේතුවෙන් මහජනතාව අතර අනවශ්‍ය බියක් ඇති විය හැකි අතර, එය මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ද ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.

මෙවැනි අසත්‍ය ප්‍රචාර ජනමාධ්‍ය ප්‍රචාර හේතුවෙන් සැලකිය යුතු පිරිසක් දර සහ අනෙකුත් සාම්ප්‍රදායික ඉන්ධන භාවිතයෙන් ඉවත්ව ගෑස් හෝ විදුලිය භාවිතයට යොමුවුවහොත්, එමඟින් බලශක්ති ක්ෂේත්‍රය මත අතිරේක පීඩනයක් එල්ල විය හැකි බව අමාත්‍යාංශය පෙන්වාදෙයි.

විශේෂයෙන්ම පහසුවෙන් දර ලබාගත හැකි සහ දර නිසි ලෙස හා ආරක්ෂිතව භාවිත කරන බොහෝ පිරිසකට දර භාවිතය අතහැර දැමීමට කිසිදු හේතුවක් නොමැති බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පරිසර හා වෘත්තීය සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චාන්දනී විතාන සහ එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (තොරතුරු හා ප්‍රචාරක) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු වී තිබේ.

මහජන සෞඛ්‍යය ඉහළ නැංවීමේ අරමුණින් විශේෂඥයන් ලබාදෙන තොරතුරුවල මූලික අර්ථය වෙනස් වන ආකාරයෙන් තොරතුරු ප්‍රකාශයට පත්කිරීම මඟින් ජනතාව නොමග යා හැකි බව නිලධාරීහු මෙහිදී පවසා ඇත.

එමනිසා මෙම විෂය සම්බන්ධයෙන් පවතින සැබෑ තත්ත්වය වහාම පැහැදිලි කළ යුතු බවත්, ජනතාව නැවත නිවැරදිව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී තිබේ.

මේ සම්බන්ධයෙන් වන ඉතිරි නිල තොරතුරු ඉදිරියේදී ජනමාධ්‍ය වෙත නිල වශයෙන් නිකුත් කරන බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එමෙන්ම සෞඛ්‍ය සම්බන්ධ තොරතුරු විකෘති කිරීමෙන් හෝ ජනතාව නොමග යන ආකාරයෙන් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස සියලුම ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලයන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටී.