June 23, 2026

පුද්ගලයකුට වෘත්තිකයෙකු වීම දුෂ්කර කටයුත්තක් බවත්, ‘සාර්ථක වෘත්තිකයෙක්’ වීම යනු මුදල් සම්භාරයක් උපයා ගැනීම පමණක් නොවන බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රකාශ කළේය. අගවිනිසුරුවරයා මේ බව කියාසිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී ඊයේ (23) පැවැති නව නීතිඥවරුන් දිවුරුම් දීමේ උත්සවය අමතමිනි.

ඊයේ දින නීති ක්ෂේත්‍රයට එක්වන සියලුම නවක සාමාජිකයන්ට අධිකරණය වෙනුවෙන් සිය උණුසුම් සුබපැතුම් පිරිනැමූ අගවිනිසුරුවරයා, වෘත්තිය තුළින් ලබාගන්නා දැනුම සහ සේවාදායකයින්ට ලබාදෙන ගුණාත්මක සේවය වෘත්තියේ සාර්ථකත්වය මනින ප්‍රධාන නිර්ණායක වනු ඇති බව ද පෙන්වාදුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මෙසේ ද පැවසීය:

“අද දින දිවුරුම් දුන් සියලුම නීතිඥවරුන් අධිකරණයේ නිලධාරීන් වශයෙන් පිළිගැනෙනවා. ඔබ ඉදිරිපත් කරන කරුණු මත විශ්වාසය තබා අධිකරණය කටයුතු කරනු ලබනවා. හොඳ නිපුණතාවයක් සහ කීර්තියක් සහිත පුද්ගලයින් පමණක් නීතිඥවරුන් වශයෙන් බඳවා ගත යුතු බවට අදාළ පනතේ ද පැහැදිලිව සඳහන්ව තිබෙනවා. ඒ නිසා නීතිඥවරයෙක් වශයෙන් සිය ප්‍රමිතිය ඉහළින්ම පවත්වාගෙන යාමට ඔබ සියලු දෙනාටම ලොකු වගකීමක් තිබෙනවා. අද දිවුරුම් දුන් පිරිස දිගුකාලීනව මෙම උතුම් වෘත්තීයේ ප්‍රමිතීන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනු ඇතැයි මම අපේක්ෂා කරනවා.

මෙම උතුම් වෘත්තීයේ ගරුත්වය රැඳී පවතින්නේ ඔබ කටයුතු කරන ආකාරය අනුවයි. වෘත්තීය මෙන්ම වෘත්තීය නොවන කාරණාවලදී ද සිය අවංකභාවය පවත්වාගැනීම ඉතාමත් වැදගත්. කෙටියෙන් කිවහොත්, ඔබ කොහේ ගියත් ඔබ දැන් අධිකරණ නිලධාරියෙක් ලෙස සිටින අතර මහජනතාව විසින් ඔබව නිරීක්ෂණය කරනු ලබනවා. ඒ අනුව ඔබ ඕනෑම ස්ථානයක හැසිරෙන ආකාරය ඉතා වැදගත් වනු ඇත. නීති වෘත්තියේ ඔබේ කාර්යභාරය රටේ නීතියේ ආධිපත්‍යයේ ගුණාත්මක භාවයට බෙහෙවින් දායක වන බව පැවසීම නිවැරදියි. අද දින මෙම අධිකරණය ඉදිරියේ නීතිඥවරුන් ලෙස දිවුරුම් දුන් ඔබ සෑම කෙනෙකුම මෙම උතුම් වෘත්තියේ ගෞරවය, අභිමානය සහ වටිනාකම ආරක්ෂා කර, තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවට මට සැකයක් නැහැ.”

මෙම නව නීතිඥවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී මනෝදි හේවාවසම් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව අමරසූරිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.