July 23, 2026

තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ඇමරිකානු ඩොලර් 626,755ක මුදලක් වෙනත් පාර්ශවයක ගිණුම් වෙත බැරවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා විමර්ශන පවත්වමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත දැනුම් දී තිබේ.

එක්සත් ජනපද තැපැල් සේවය වෙත යැවීමට තිබූ මෙම මුදල්, තැපැල් දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපැල් (Email) පද්ධතිය හරහා අවස්ථා දෙකකදී වෙනත් ගිණුම් 9ක් වෙත බැරකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) අධිකරණයට ප්‍රකාශ කළේය.

ගෝලීය තැපැල් ගනුදෙනු සඳහා විශ්ව තැපැල් සංගමය විසින් නිකුත් කරන ලද නිල විද්‍යුත් තැපැල් ලිපිනයට පරිබාහිරව වෙනත් විද්‍යුත් තැපැල් ගිණුමක් භාවිත කරමින් මෙම ගෙවීම් සිදුකර ඇති බව එහිදී අනාවරණය වී ඇත.

මෙයට අදාළ විද්‍යුත් තැපැල් දත්ත, සේවාදායක පද්ධතිය සහ ලැප්ටොප් පරිගණක ඇතුළු නඩු භාණ්ඩ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් වාර්තා කළ අතර, එම ද්‍රව්‍ය ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.