January 29, 2024

ව්‍යාජ ලෙස රන් භාණ්ඩ යැයි අඟවමින් රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන වෙත උකස් තබා මුදල් ලබාගනිමින් මහ පරිමාණ අයුරින් මුදල් වංචා කිරීම් සිදුකරන ලද බෞද්ධ භික්ෂුවක් ලෙස පෙනීසිටි අයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුට එරෙහිව මෙලෙස මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් 2003 වර්ෂයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර, එම දෙපාර්තමේන්තුව සැකකරුට එරෙහිව විමර්ශන සිදුකර අධිකරණයේ නඩු 19ක් පවරා තිබී ඇත.

සැකකරු ගිහියකු ලෙස සිටියදී මෙම චංචා සිදුකර ඇති අතර, එම නඩු සඳහා සැකකරු මූලික අවස්ථාවේදී අධිකරණයේ පෙනීසිටද තිබේ.

පසුකාලීනව මොහු අතුරුදන්ව සිට, පොල්ගහවෙල ප්‍රදේශයේ භාවනා අසපුවක හිමිනමක් ලෙස පෙනීසිටියදී මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුට එරෙහිව මහාධිකරණ නඩු 12ක් කොළඹ, අවිස්සාවේල්ල සහ හෝමාගම අධිකරණවල පවතින අතර, මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩු 07ක් කඩුවෙල, හෝමාගම සහ අලුත්කඩේ අධිකරණවල පවතින බවත්, අත්අඩංගුවට ගත් සැකකරු ඉහත නඩු සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තාවේ.(මව්බිම)