July 4, 2026

ශ්‍රී ලංකාව දූෂණයට එරෙහි සටනේදී ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගොස් ඒවා පූර්ණ වශයෙන් ක්‍රියාවට නැංවීමේ අදියරකට අවතීර්ණ වී ඇති බවත්, ඒ යටතේ ආයතනික, නීතිමය සහ තාක්ෂණික වශයෙන් දැවැන්ත වෙනස්කම් රැසක් මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ප්‍රකාශ කළේය.

දකුණු කොරියාවේ පැවැති ජාත්‍යන්තර දූෂණ විරෝධී සමුළුව අමතමින් ඔහු පෙන්වා දුන්නේ 2025 වසරේ මුල් භාගයේ සිට ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ, පැහැදිලි මහජන ජනවරමකට අනුව ප්‍රතිසංස්කරණ ප්‍රායෝගික ප්‍රතිඵල බවට පත්කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇති බවයි.

විමර්ශන කටයුතු ශක්තිමත් කිරීමටත්, වඩාත් වේගවත් හා ඵලදායී ප්‍රතිඵල ලබාගැනීම සඳහාත් නඩු කළමනාකරණ පද්ධති වැඩිදියුණු කිරීමටත් බලධාරීන් පියවර ගනිමින් සිටින බව ඔහු සඳහන් කළේය.

මෙහි වැදගත් පියවරක් ලෙස දූෂණ විරෝධී නඩු ප්‍රමුඛතාවක් ලෙස සලකා ප්‍රමාදයකින් තොරව විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණ තුනක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මෙහෙයුම් කාර්යසාධනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මේ වන විට එම ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයකට ලක්වෙමින් පවතී. කාර්ය මණ්ඩල ධාරිතාව ඉහළ නැංවීම, සේවා කාර්යක්ෂම කිරීම සහ මහජනතාවට පහසුවෙන් සේවා ලබාගත හැකි පරිදි එහි කටයුතු විමධ්‍යගත කිරීම මෙම ප්‍රතිසංස්කරණවලට ඇතුළත් වේ.

රාජ්‍ය ක්ෂේත්‍රයේ විනිවිදභාවය තහවුරු කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස, කාර්යක්ෂමතාව, වගවීම සහ අධීක්ෂණය ඉහළ නැංවීම සඳහා මේ වසරේදී විද්‍යුත් වත්කම් ප්‍රකාශන පද්ධතියක් ද ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ‘2025-2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ සහ ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම’ මගින් දූෂණය වැළැක්වීම, නීතිය බලාත්මක කිරීම, මහජන දැනුවත්භාවය සහ ආයතනික සම්බන්ධීකරණය ඇතුළු සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පුළුල් මාර්ග සිතියමක් සපයා ඇති බවයි.

අල්ලස් කොමිසම සහ දකුණු කොරියාවේ දූෂණ විරෝධී හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (ACRC) අතර පවතින සහයෝගීතාව ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීම් කෙරෙහි නැඹුරු වෙමින් ස්ථාවර ලෙස වර්ධනය වී ඇති බව ද ඔහු අවධාරණය කළේය. මෙම හවුල්කාරිත්වයේ ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස දකුණු කොරියාවේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ඇතිව ‘දූෂණ විරෝධී මුලපිරීම් ඇගයීමේ ක්‍රමවේදයක් සකස් කර ඇත. දකුණු කොරියාවේ රාජ්‍ය අඛණ්ඩතාව ඇගයීමේ පද්ධතිය පාදක කරගනිමින් නිර්මාණය වූ මෙම ක්‍රමවේදය, ශ්‍රී ලංකාවේ නීතිමය හා පරිපාලන රාමුවට ගැළපෙන පරිදි සකස් කර තිබේ.

දූෂණය යනු ගෝලීය අභියෝගයක් වුවද, අඛණ්ඩ, ප්‍රායෝගික සහ ක්‍රියාත්මක කිරීම් පාදක කරගත් සහයෝගීතාවය තුළින් අර්ථාන්විත ප්‍රගතියක් අත්කර ගත හැකි බව ද ඔහු කියා සිටියේය.