July 3, 2026

චීනයේ ප්‍රමුඛ පෙළේ රොබෝ තාක්ෂණ සමාගමක් වන UBTech Robotics, වාණිජමය වශයෙන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කළ හැකි, මිනිසෙකුට සමාන පෙනුමකින් යුත් ‘U1’ නමැති සහකාර රොබෝවරයා ලොවට හඳුන්වා දී ඇත.

මෙහි සාමාන්‍ය මාදිලියක් චීන යුවාන් 119,800ක් වන අතර, ඉහළම තාක්ෂණයෙන් යුත් ප්‍රිමියම් මාදිලියක් යුවාන් 990,000ක් (ඇමරිකානු ඩොලර් 145,700ක් පමණ) දක්වා මිල වේ.

කෘතිම බුද්ධියෙන් (AI) ක්‍රියාත්මක වන මෙම රොබෝවරයා වෙළඳපොළට හඳුන්වා දෙන්නේ මිනිසුන්ගේ තනිකම මකාදැමිය හැකි සාර්ථක විසඳුමක් ලෙසයි.

සාමාන්‍ය පරිදි කතාබස් කිරීම, මානසික සහනය ලබාදීම, නියමිත වේලාවට ඖෂධ ගැනීමට මතක් කිරීම මෙන්ම හිමිකරුගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීමේ හැකියාවද මීට ඇත. විශේෂත්වය වන්නේ, පාරිභෝගිකයාට අවශ්‍ය පරිදි තමන් ආදරය කරන අයෙකුගේ, ප්‍රසිද්ධ තරුවකගේ හෝ ප්‍රබන්ධ චරිතයක පෙනුම ලැබෙන සේ මෙම රොබෝවරයාගේ බාහිර රුව වෙනස් කරගත හැකි වීමයි.

සමාගම පවසන පරිදි, මේ වන විටත් මෙම රොබෝවරයා සඳහා ඇණවුම් 13,300කට වඩා ලැබී ඇති අතර, එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ඒවා පාරිභෝගිකයන් වෙත බෙදා හැරීමට නියමිතය.

UBTech සමාගම ප්‍රධාන වශයෙන්ම හුදෙකලාව වෙසෙන පුද්ගලයන් සහ වැඩිහිටි ප්‍රජාව ඉලක්ක කර ගනිමින් මෙය නිපදවා ඇත. කෙසේ වෙතත්, තාක්ෂණික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ අධික ලෙස මිනිස් පෙනුමක් ඇති යන්ත්‍ර දැකීමෙන් මිනිසුන් තුළ ඇති විය හැකි යම් අපහසුතාව හෝ බිය හේතුවෙන්, මෙවැනි රොබෝවරුන් සඳහා ඇති වෙළඳපොළ සීමිත විය හැකි බවයි.

චීන රජයේ දැඩි අනුග්‍රහය සහ එරට වේගයෙන් දියුණු වන තාක්ෂණික ක්ෂේත්‍රයේ දායකත්වය මත, ගෝලීය මිනිස් රුවැති රොබෝ කර්මාන්තයේ ලෝක බලවතා බවට පත්වීමට චීනය තැබූ තවත් දැවැන්ත පියවරක් ලෙස මෙම රොබෝවරයාගේ පැමිණීම හැඳින්විය හැකිය.