September 25, 2026

රාජ්‍ය සංචාරයක් වෙනුවෙන් ඇමරිකාවට පැමිණ සිටින චීන ජනපති ෂී ජින්පිං පිළිගැනීම සඳහා ඊයේ (24) ධවල මන්දිරයේදී, විශේෂ උත්සවයක් පැවැත්විණි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් ද ඊට එක්ව සිටි අතර එහිදී චීන ජනපති වෙනුවෙන් ගෞරව සම්මාන පෙළපාළියකින් ද උත්තමාචාර දැක්විණි.

අනතුරුව ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට ද දෙරටේ නායකයන් එක්වූහ.

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ උණුසුම් පිළිගැනීම වෙනුවෙන් ප්‍රථමයෙන් සිය ස්තුතිය පළ කළ චීන ජනාධිපති ෂී ජින්පිං එහිදී සඳහන් කළේ, බිලියන 1.4ක චීන ජනතාව නියෝජනය කරමින් තමන් ඇමරිකානු ජනතාව වෙත හෘදයාංගම සුභාශිංසනය පිරිනමන බවය.

චීනය හා ඇමරිකාව ශ්‍රේෂ්ඨ රටවල් වනවා සේම දෙරටේ ජනතාව ද ශ්‍රේෂ්ඨ බව පැවසූ හෙතෙම දෙරටේ මිත්‍රත්වය, සහ‍යෝගිතාව සහ දෙරටේ ජනතාවගේ සුබසෙත වර්ධනය කිරීම, මෙවර සිය ඇමරිකානු සංචාරයේ අරමුණු බව පෙන්වාදුන්නේය.

එමෙන්ම ලොව බලවතුන් ලෙස චීනයටත් ඇමරිකාවටත් මානව සංවර්ධනය හා ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමේ ඓතිහාසික වගකීම පැවරී ඇති බවත්, මේ වසර ආරම්භයේදී ජනපති ට්‍රම්ප් චීනයේ සංචාරය කළ කාලයේ දෙරට අතර සංවර්ධනාත්මක උපාය මාර්ගික සබඳතාවක් ‍ගොඩනැගීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බවත් ඔහු පැවසීය.

ට්‍රම්ප් ජනපති සමග එක්ව චීන-ඇමරිකානු සම්බන්ධතා වඩාත් ස්ථාවර අන්දමින් ඉදිරියට ගෙනයෑමට චීන ජනාධිපතිවරයා මෙහිදී කැමැත්ත පළකළේය.

ඒ සඳහා දෙරට අන්‍යෝන්‍ය වශයෙන් සන්නිවේදනය ශක්තිමත් කළ යුතු බවත් දෙරට අතර අවංක සහයෝගිතාවක් පැවැත්විය යුතු බවත් චීනය හා ඇමරිකාව අතර සාමකාමී සහජීවනයක් තිබීම වැදගත් බවත් චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

එමෙන්ම දෙරටේ සබඳතාවන්හි අනාගතය රඳාපවතින්නේ දෙරටේ තරුණයන්ගේ දෑත් මත බව පැවසූ ජනපති ෂී, ඉදිරි වසර 5 තුළ චීනයේ අධ්‍යයන කටයුතු සඳහා ඇමරිකානු තරුණයන් ලක්ෂයකට ආරාධනා කරන බව ප්‍රකාශ ක‍‍‍ළේය.

එසේම චීන පැන්ඩාවන් දෙදෙනකු දෙරටේ මිත්‍රත්වයේ දූතයන් වශයෙන් දින කිහිපයකින් පසු ඇමරිකාවේ Atlanta සත්වෝද්‍යානයෙහි පදිංචි වනු ඇතැයි ද හෙතෙම සතුටින් ප්‍රකාශ කළේය.