July 25, 2026

වසර 6ක ධුර කාලය අවසන් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුඅං සහ ඔහුගේ බිරිඳ ජින් කියෑන් දිවයිනෙන් පිටත්ව යෑමට සූදානම් වෙති.

සිය සමුගැනීමේ පණිවුඩය නිකුත් කරමින් තානාපතිවරයා සඳහන් කරන්නේ, මෙය සිය රාජ්‍යතාන්ත්‍රික ජීවිතයේ දීර්ඝතම සේවා කාලය වූ අතර, ශ්‍රී ලංකාව තුළ ගතකළ කාලය අමතක නොවන සුන්දර මතකයන්ගෙන් පිරී පැවති බවයි.

පසුගිය වසර 6ක කාලය තුළ කොවිඩ්-19 වසංගතය, ආර්ථික අර්බුදය, ‘දිට්වා’ සුලිකුණාටුව මෙන්ම මැදපෙරදිග අර්බුදය හමුවේ ද චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකාට ශක්තියක් වෙමින් නොසැලී සිටි බව තානාපතිවරයා සිහිපත් කළේය.

2025 වසරේදී ජනාධිපති දිසානායක සහ අගමැතිනි අමරසූරිය යන දෙදෙනාගේ චීන සංචාරවලදී එළඹි එකඟතා දෙරටේ සබඳතාවලට නව මඟපෙන්වීමක් වූ බව ද ඔහු සඳහන් කළේය.

කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ වැඩ නැවත ඇරඹීම, වෘක්කවේද රෝහල, රජයේ පාසල් සිසුන්ට වසර 4ක් පුරා නොමිලේ රෙදිපිළි ලබාදීම සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඒකක 2,000ක් ලබාදීම වැනි චීන ආධාර යටතේ සිදු වූ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති රැසක් ගැන ද තානාපතිවරයා මෙහිදී මතක් කර සිටියි.

ලබන වසරේදී චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් පිරෙන බවත්, ඉදිරියටත් ‘එක් තීරයක් – එක් මාවතක්’ (Belt and Road) වැඩසටහන යටතේ යටිතල පහසුකම්, නව බලශක්ති, නූතන කෘෂිකර්මය, සංචාරක සහ තාක්ෂණික ක්ෂේත්‍රවලින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය තවදුරටත් පුළුල් කරන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකාවෙන් සමුගෙන ගිය ද දෙරට අතර පවතින සුහදතාව වෙනුවෙන් සදාකාලිකවම කැපවෙන බව තානාපතිවරයා අවධාරණය කරයි.