
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආගමික බැඳීම්වල කල්පවත්නා සංකේතයක් ලෙස ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාව ළඟදීම ඉදිකිරීමට චීනය යෝජනා කරන බව මෙරට චීන තානාපති කිව් ෂෙන් හොං (Qi Zhenhong) පවසයි.
අගමැති දිනේෂ් ගුණවර්ධන සහ චීන ජනාධිපති ෂී ජින් පිංගේ විශේෂ නියෝජිත, රාජ්‍ය මන්ත්‍රී ෂෙන් යිකින් (Shen Yiqin) අතර හමුවක් අද අරලියගහ මන්දිරයේ දී පැවැත්වූ අතර ඊට එක්වූ මෙරට චීන තානාපතිවරයා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඉතා ඉහළින් අගය කරන බවත්, චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමේ විශාල හැකියාවක් පවතින බවත් මෑත කාලීන ණය අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහයට ස්තූතිවන්ත වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.
සෘජු පෞද්ගලික ආයෝජන මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආයෝජන සහ අපනයනය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර සඳහා ආයෝජන මෙන්ම, පවතින ආර්ථික ප්‍රශ්නවලට දිගුකාලීන විසඳුම් ලබාදීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනයට චීනයෙන් ලැබෙන්නා වූ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
සමස්ත චීන කාන්තා සම්මේලනයේ සභාපතිනිය ද වන විශේෂ නියෝජිත ෂෙන් යිකින් පැවසුවේ, ශ්‍රී ලංකාව චීනයේ සමීපතම මිතුරෙකු ලෙස සලකන බවත්, සහයෝගීතාව මෙන්ම නව ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමටත්, කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන්, අධ්‍යාපනය සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍ර පුළුල් කිරීමටත් බලාපොරොත්තු වන බවත්ය.
දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය දැකීමෙන් චීනය සතුටට පත්වන බව පැවසූ චීන රාජ්‍ය මන්ත්‍රීවරිය ආර්ථික අභියෝගවලට මුහුණ දීමේ ප්‍රයත්නයන් සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය සහතික කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart