January 30, 2026

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරක් පවත්වාගෙන ගිය පවුලක සාමාජිකයන් 11 දෙනකුට චීනය මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බව එරට රාජ්‍ය පුවත් සේවය වාර්තා කරයි.

එම වාර්තා පෙන්වාදෙන්නේ, සයිබර් අපරාධ කඳවුරු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මිං පවුලේ සාමාජිකයන් 11 දෙනකුට චීනය විසින් මෙලෙස මරණ දඬුවම ලබාදී ඇති බවයි.

මිං පවුල චීනයට ආසන්න මියන්මාරයේ පිහිටි ලාක්කායින් නගරය පාලනය කරන කණ්ඩායම් කිහිපයකින් එකකි.

ඔවුන් දුප්පත් ලාක්කායින් නගරය කැසිනෝ සහ ගණිකා වෘත්තියේ මධ්‍යස්ථානයක් බවට පත්කළ බවට චෝදනා එල්ල වී තිබිණි.

ඔවුන්ගේ වංචා ව්‍යාපාරය 2023 දී අවසන් වූයේ මියන්මාර නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන චීනයට භාරදීමත් සමඟය.

මියන්මාර පාලනාධිකාරියේ ප්‍රධාන ආධාරකරු වන චීනයේ පීඩනයට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවී තිබිණි.

චීන ජනමාධ්‍ය වාර්තා කළේ, මෙම ජාවාරම්කරුන් වසර ගණනාවක් පුරා චීන කම්කරුවන් රඳවා තබාගෙන සිට ඇති බවයි.

පසුගිය වසරේ චීනයේ අන්තර්ජාලය භාවිත කරන්නන් බොහෝදෙනකු බාලවයස්කාර චීන නළුවකු පිළිබඳ තොරතුරු සොයා ඇත.

ඔහු රංගන කටයුතු සඳහා තායිලන්තයට ගොස් ඇති නමුත් රවටා මියන්මාරයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානයකට රැගෙන ගොස් තිබූ අතර චීනය තුළ ඒ සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්වයක් උද්ගත වී තිබිණි.

එමෙන්ම මෙම වංචා කණ්ඩායම් පාලනය කරන ලෙස චීනය මියන්මාර රජයෙන් දීර්ඝ කාලයක් සිට ඉල්ලීම් කර තිබේ.

අධිකරණයේදී අනාවරණ වී ඇත්තේ මිං පවුලේ සයිබර් අපරාධ සහ සූදු මධ්‍යස්ථාන මගින් 2015 සිට 2023 දක්වා යුවාන් බිලියන 10 (ඩොලර් බිලියන 1.4) උපයා ඇති බවයි.

ඔවුන්ගේ අපරාධ හේතුවෙන් චීන ජාතිකයින් 14 දෙනකු මියගොස් ඇති අතර, තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බව ද අධිකරණයේදී අනාවරණ වී තිබේ.