July 14, 2026

ලෝක දේශපාලනය උණුසුම් කරමින්, ඇමෙරිකානු රජයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව උතුරු කොරියානු න්‍යෂ්ටික පරීක්ෂණ හඳුනාගැනීමේ පර්යේෂණවල නිරත වූ චීන සම්භවයක් සහිත ඇමෙරිකානු විද්‍යාඥයෙකු චීන ආරක්ෂක අංශ භාරයේ පසුවන බව අනාවරණය වේ.

දැනට වසර දෙකකට ආසන්න කාලයක් රහසිගතව රඳවා තබාගෙන සිටින 54 හැවිරිදි භූ කම්පන විද්‍යාඥ යූලින් චෙන්ට එරෙහිව චීනය විසින් ඔත්තු බැලීමේ චෝදනා එල්ල කර ඇති අතර, ඔහු ඉදිරියේදී දැඩි නඩු විභාගයකට මුහුණ දීමට නියමිතය.

පසුගිය වෙළඳ යුද්ධයෙන් පසු බීජිං පාලනය සමඟ පවතින සබඳතා යම් මට්ටමකින් සමතුලිතව තබා ගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරමින් සිටින මොහොතක, මෙම සිදුවීම කරළියට පැමිණීම විශේෂත්වයකි.

පසුගිය මාර්තු 19 වැනිදා, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ විසින් යූලින් චෙන් “වැරදි සහගත ලෙස රඳවා තබාගෙන සිටින” පුද්ගලයෙකු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

එතැන් පටන් ඔහුව නිදහස් කරගැනීම ධවල මන්දිරයේ ප්‍රමුඛතම රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් බවට පත් වුවද, සංවේදී සාකච්ඡා සඳහා ඉඩකඩ තැබීම වෙනුවෙන් ඇමෙරිකානු රජය මේ දක්වා මෙම තොරතුරු මාධ්‍ය වෙත හෙළිදරව් කිරීමෙන් වැළකී සිටියේය.

නම හෙළි නොකළ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රභවයක් සඳහන් කළේ, “මේ වන විට අපගේ එකම සහ පූර්ණ අවධානය යොමුව ඇත්තේ ඔහු චීනයේ අසාධාරණ සිරඅඩස්සියෙන් නිදහස් කරවා ගැනීම කෙරෙහි පමණක්” බවයි.

ෂී ජින්පින්ග් දුන් පොරොන්දුවට මොකද වුණේ?
2011 වසරේදී ඇමෙරිකානු පුරවැසිභාවය ලබා බොස්ටන්හි පදිංචිව සිටි යූලින් චෙන්, චීනය තුළ මෙලෙස අසාධාරණ ලෙස රඳවාගෙන සිටින එකම ඇමෙරිකානු පුරවැසියා වේ.

ඔහුගේ බිරිඳ වන යුෆැන්ග් රොන්ග් (Yufang Rong) පවසන පරිදි, පසුගිය මැයි මාසයේ චීනයේ සිදුකළ නිල සංචාරයේදී ජනාධිපති ට්‍රම්ප් විසින් චීන නායක ෂී ජින්පින්ග් හමුවේ පෞද්ගලිකවම චෙන්ගේ ප්‍රශ්නය මතු කර තිබේ. එහිදී ඒ පිළිබඳව සොයා බලා සහනයක් සලසන බවට චීන නායකයා පොරොන්දු වුවද, මේ දක්වා චීන රජයෙන් කිසිදු සුබවාදී ප්‍රතිචාරයක් ලැබී නොමැත.

චීන නීතියට අනුව ඔත්තු බැලීමේ චෝදනාවට වරදකරු වන පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ මරණ දඬුවම පවා නියම විය හැකිය.

තම සැමියාගේ ඉරණම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවන, ඇයද භූ කම්පන විද්‍යාඥවරියක වන රොන්ග් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් මෙසේ පැවසුවාය:

“මට විශ්වාසයි ඔවුන් නඩු විභාගය ආරම්භ කරන්නත් කලින්ම මගේ සැමියා වරදකරු කරන්න තීරණය කරලා ඉවර ඇති කියලා. මේ නඩු විභාගය පවත්වන්නේ වසා දැමූ දොරවල් පිටුපස, කිසිදු පාරදෘශ්‍යභාවයකින් තොරවයි.”

මෙම සිදුවීමත් සමඟ, න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර පවතින දේශපාලන සහ ආරක්ෂක සබඳතා ඉදිරියේදී තවදුරටත් උණුසුම් වනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.