October 3, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයට අදාළ තරග කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම සංචාරයට T20I තරග 3ක්, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියක් මෙන්ම ටෙස්ට් තරග 2ක් ඇතුළත් වේ.

නිමාව දුටු එංගලන්ත සංචාරයේ T20I සංචිතයට සාපේක්ෂව මෙවර සංචිතයේ වෙනස්කම් රැසක් සිදුකර ඇති අතර, තරුණ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට ද අවස්ථාව ලබා දී තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා T20I සංචිතය සඳහා විජයකාන්ත් වියස්කාන්ත්, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර සහ එෂාන් මාලිංග ඇතුළු ක්‍රීඩකයන් පිරිසක් කැඳවා ඇත.

මේ අතර එංගලන්ත T20I තරගාවලිය ආබාධයක් හේතුවෙන් අහිමි වූ නිත්‍ය නායක කුසල් මෙන්ඩිස් යළිත් මෙම සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි.

දිගින් දිගටම අසාර්ථක වූ එම තරගාවලියේ නායකයා ලෙස කටයුතු කළ චරිත් අසලංක ද සංචිතයෙන් ඉවත් කර තිබේ.

එංගලන්ත සංචාරයට ක්‍රීඩාකර, පාකිස්තාන සංචාරයෙන් ඉවත් කළ අනෙක් ක්‍රීඩකයන් වන්නේ, පැතුම් නිස්සංක, පවන් රත්නායක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, තරිඳු රත්නායක සහ දිල්ෂාන් මධුශංක ය.

තරග සංචාරය ඔක්තෝබර් 09 වනදා ආරම්භ වන T20I තරගාවලියෙන් ඇරඹෙන අතර, එහි සියලුම තරග රාවල්පිණ්ඩි හිදී පැවැත්වේ.

T20I තරගාවලිය:

පළමු T20I තරගය – ඔක්තෝබර් 09 (රාවල්පිණ්ඩි)

දෙවැනි T20I තරගය – ඔක්තෝබර් 11 (රාවල්පිණ්ඩි)

තෙවැනි T20I තරගය – ඔක්තෝබර් 13 (රාවල්පිණ්ඩි)

T20I තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය සහභාගී වන තුන්කොන් එක්දින තරගාවලිය ආරම්භ වේ.

එක්දින තුන්කොන් තරගාවලිය:

ඔක්තෝබර් 18 – ශ්‍රී ලංකාව vs පාකිස්තානය (රාවල්පිණ්ඩි)

ඔක්තෝබර් 20 – පාකිස්තානය vs එංගලන්තය (රාවල්පිණ්ඩි)

ඔක්තෝබර් 22 – ශ්‍රී ලංකාව vs එංගලන්තය (රාවල්පිණ්ඩි)

ඔක්තෝබර් 25 – පාකිස්තානය vs එංගලන්තය (ලාහෝර්)

ඔක්තෝබර් 27 – ශ්‍රී ලංකාව vs පාකිස්තානය (ලාහෝර්)

ඔක්තෝබර් 29 – ශ්‍රී ලංකාව vs එංගලන්තය (ලාහෝර්)

ඔක්තෝබර් 31 – අවසන් මහා තරගය (ලාහෝර්)

එක්දින තරගාවලිය නිම වීමෙන් පසු ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට නියමිතය.

ටෙස්ට් තරගාවලිය:

තුන්දින පුහුණු තරගය – නොවැම්බර් 04 – 06 (රාවල්පිණ්ඩි)

පළමු ටෙස්ට් තරගය – නොවැම්බර් 09 – 13 (රාවල්පිණ්ඩි)

දෙවැනි ටෙස්ට් තරගය – නොවැම්බර් 17 – 21 (ලාහෝර්)