March 11, 2025

කොවිඩ් වසංගත සමයේදී මියගිය මුස්ලිම්වරුන්ගේ සිරුරු ආදාහනය කිරීමට ගත් තීරණයට තමන් විරුද්ධ වූ බව ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චන්න ජයසුමන පවසයි.

රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් චන්න ජයසුමන කියාසිටියේ, ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් හමුදා බුද්ධි තොරතුරු මත පදනම්ව මුස්ලිම් කොවිඩ් වින්දිතයන් සඳහා භූමිදානය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බවයි.

කෙසේවෙතත්, එහිදී ඔහු පැවසුවේ, තමන් මුල සිටම මියගිය මුස්ලිම්වරුන්ගේ සිරුරු භූමදානය ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධ බවත්, ඒ බව එවකට සිටි කොවිඩ් කාර්යසාධක බලකායට දන්වා සිටි බවත්ය.

“විද්‍යා විශේෂඥයෙකු ලෙස, මම සිටිය ස්ථාවරය තමයි වෛරසයට මළසිරුරක නොනැසී පැවතිය නොහැකි බවයි. එබැවින් ඔවුන්ගේ ආගමික පිළිවෙත් අනුව භූමදානය කිරීම ගැටළුවක් වෙන්නේ නෑ. මම මේ වෙනුවෙන් කතාකළා, ජනමාධ්‍ය සාකච්ඡා පවා දුන්නා.” ඔහු පෙන්වා දුන්නේය.

කෙසේවෙතත්, ආගමික ආතතීන් ඇතුළු වෙනත් තර්ජන ඇති විය හැකි බව සඳහන් කරමින් එම මළසිරුරු භූමිදානය කිරීමට ඉඩනොදෙන ලෙස හමුදා බුද්ධි අංශ අනතුරු අඟවා ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

වසංගතයක් තුළ එවැනි ආතතීන් ඇති විය නොහැකි බව ප්‍රකාශ කළ ඔහු, මුස්ලිම් කොවිඩ් වින්දිතයන්ගේ සිරුරු ආදාහනය කිරීම සුදුසු ක්‍රියාමාර්ගයක් නොවන බවත්, ඔවුන්ගේ ආගමික චාරිත්‍ර අනුව භූමදානය කිරීමට ඉඩදෙන ලෙසත් තමා ඉල්ලා සිටි බවත් ඔහු පැවසීය.

“කෙසේවෙතත්, මගේ යෝජනාව පරාජය වුණා. මිහිදන් කිරීම වෙනත් අහිතකර ප්‍රතිඵල ගෙනදිය හැකි බවට හමුදා බුද්ධි අංශ අනතුරු ඇඟවූ නිසා අපට නිහඬව සිටීමට සිදුවුණා.”

කණගාටුදායක ලෙස විවිධ ප්‍රවෘත්ති වාර්තා මගින් තම ස්ථාවරය සම්පූර්ණයෙන්ම වැරදි ලෙස නිරූපණය කරන බව පෙන්වාදුන් චන්න ජයසුමන පැවසුවේ, එම වාර්තා තමාගේ විශ්වාසයන්ට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ බවයි.