June 22, 2026

අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 5කින් ලැබූ පරාජයෙන් පසු, ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සිය ක්‍රීඩා ජීවිතය පිළිබඳව ඉතා හැඟීම්බර ප්‍රකාශයක් සිදුකළාය.

එහිදී ඇය කියාසිටියේ තම කණ්ඩායම ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයක් කරා මෙහෙයවීමට නොහැකි වීම තම ජීවිතයේ ලොකුම කණගාටුව බවයි.

තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ 36 හැවිරිදි චමරි, වසර 18ක අන්තර්ජාතික ක්‍රිකට් ජීවිතය තුළ තමන් පෞද්ගලිකව බොහෝ ජයග්‍රහණ ලබා ඇතත්, නායිකාවක ලෙස තමන් අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීමට අපොහොසත් වී ඇති බව පිළිගත්තාය.

“මම පෞද්ගලිකව බොහෝ දේ අත්කරගෙන තිබුණත්, නායිකාවක් විදිහට මම අසාර්ථකයි කියලා මට හිතෙනවා. ඒක ක්‍රීඩිකාවකට දැනෙන ලොකුම වේදනාවක්” යැයි චමරි අතපත්තු පැවසුවාය.

2009 වසරේ සිට පැවැති සෑම කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකටම ක්‍රීඩාකර ඇති ශ්‍රී ලංකා නායිකාව වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය කරා රැගෙන යෑමට තිබූ තවත් කදිම අවස්ථාවක් ගිලිහී යෑම පිළිබඳව තමන් දැඩි සේ කණගාටු වන බවයි.

මෙම තරගයේදී ලකුණු 2කට දැවීයෑම හේතුවෙන් පරාජයේ වගකීම තමන් භාරගන්නා බව පැවසූ ඇය, මීට වඩා වගකීම් සහගත ඉනිමක් ක්‍රීඩා කිරීමට තමන්ට තිබූ බවත්, කිසිසේත්ම මෙම පරාජයේ වරද අනෙක් ක්‍රීඩිකාවන් පිට පැටවීමට තමන් සූදානම් නැති බවත් අවධාරණය කළාය.

සිය අනාගතය පිළිබඳව අදහස් දක්වමින් මෙම ප්‍රවීණ තුන්ඉරියව් ක්‍රීඩිකාව කියාසිටියේ, මෙම තරගාවලියෙන් පසුවද දිගටම ක්‍රීඩා කරන්නේද යන්න පිළිබඳව තමන් තවමත් ස්ථිර තීරණයක් ගෙන නොමැති බවයි.

තම ශාරීරික යෝග්‍යතාව, දක්ෂතාව සහ කණ්ඩායමේ අවශ්‍යතාව මත එම තීරණය ගන්නා බව ඇය පැවසුවාය.

කෙසේවෙතත්, මෙම පසුබෑම මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තවමත් සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් නැත.

ඔවුන්ට ඉදිරියේදී අයර්ලන්තය සහ ස්කොට්ලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරග ජයග්‍රහණය කිරීමට සිදුවන අතර, තරගාවලියේ ඉදිරි ගමන තීරණය වීමට අනෙක් කණ්ඩායම්වල තරග ප්‍රතිඵලද බලපානු ඇත.

චමරි අතපත්තු ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාවක ලෙස සලකනු ලබන අතර, මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය වෙනුවෙන් ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකළ ක්‍රීඩිකාවද වේ.