July 25, 2026

වසර සියයකට අධික කාලයක් තිස්සේ විසඳීමට නොහැකිව තිබූ සංකීර්ණ ගණිත ගැටලු දෙකක් සාර්ථකව විසඳීම හේතුවෙන්, ගණිත ක්ෂේත්‍රයේ නොබෙල් ත්‍යාගයට සමාන ලෙස සැලකෙන කීර්තිමත් ‘ෆීල්ඩ්ස් පදක්කම’ (Fields Medal) ප්‍රථම වතාවට දිනාගැනීමට චීන ජාතික ගණිතඥයන් දෙදෙනකු සමත්ව තිබේ.

අමෙරිකාවේ නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ සහ ප්‍රංශයේ IHES ආයතනයේ මහාචාර්යවරියක වන 35 හැවිරිදි හොං වැං සහ චිකාගෝ විශ්වවිද්‍යාලයේ 37 හැවිරිදි මහාචාර්ය යු ඩෙං මෙලෙස සම්මානයෙන් පිදුම් ලබා ඇත. මෙහිදී හොං වැං මහත්මිය මෙම සම්මානය දිනාගත් ඉතිහාසයේ තෙවැනි කාන්තාව බවට පත්වීම ද විශේෂත්වයකි.

අමෙරිකාවේ පැවැති උත්සවයකදී මොවුන්ට අමතරව අමෙරිකාවේ ජෝන් පාඩන් සහ කැනඩාවේ ජේකබ් ට්සිමර්මන් යන දෙදෙනාද මෙම පදක්කමෙන් පිදුම් ලැබූ අතර, එක් ජයග්‍රාහකයෙකුට කැනේඩියානු ඩොලර් 15,000ක ත්‍යාග මුදලක් හිමිවිය.

වයස අවුරුදු 40ට අඩු විශිෂ්ට ගණිතඥයන් සඳහා වසර හතරකට වරක් පිරිනමන මෙම සම්මානය මොවුන් දෙදෙනාට හිමිවූයේ දශක ගණනාවක් තිස්සේ විසඳීමට නොහැකිව තිබූ අතිශය සංකීර්ණ ගණිත ගැටලු දෙකක් විසඳීම හේතුවෙනි.

ඒ අනුව, 1917දී ජපාන ගණිතඥ සොයිචි කැකේයා ඉදිරිපත් කළ ‘කැකේයා අනුමානය’ පදනම් කරගනිමින්, ත්‍රිමාණ අවකාශයක් තුළ පැන්සලක් කැරකැවීමේදී එය අයත් කරගන්නා කුඩාම වර්ගඵලය පිළිබඳ සංකල්පය හොං වැං සහ ඇගේ සගයා වන ජෝෂ් සාල් විසින් විසඳා ඇත.

එමෙන්ම, 1900 වසරේදී ජර්මන් ගණිතඥ ඩේවිඩ් හිල්බට් විසින් අංශුවල චලනය පදනම් කරගනිමින් සමස්ත පද්ධතියක හැසිරීම ගණනය කරන්නේ කෙසේදැයි විමසා තිබූ ‘හිල්බට්ගේ 6 වැනි ගැටලුව’, වායු වර්ගවල හැසිරීම ඇසුරෙන් විසඳීමට යු ඩෙං සමත් විය.

මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමඟ Weibo සහ Rednote වැනි චීන සමාජ මාධ්‍ය ජාල තුළ ‘Fields Medal’ පිළිබඳ පුවත මිලියන ගණනින් නරඹා තිබේ.

ප්‍රථම චීන ජාතික ෆීල්ඩ්ස් පදක්කම් ලාභියා වන ෂිං-තුං යාඕ ප්‍රකාශ කර ඇත්තේ, මෙය චීන ගණිත ක්ෂේත්‍රය දශක ගණනාවක් තිස්සේ දුටු සිහිනයක් සැබෑ වීමක් බවයි.

මොවුන් දෙදෙනාම 2007 වසරේදී චීනයේ ප්‍රමුඛතම පීකිං විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා අමෙරිකාව සහ ප්‍රංශය වෙත ගොස් ඇත.

ජයග්‍රහණයෙන් පසු හොං වැං වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇයට සුභ පැතුම් එක්කර ඇති අතර, “ඇය අපගේ පර්යේෂණ සහ පුහුණුවේ විශිෂ්ටත්වය පෙන්නුම් කරනවා” යැයි පවසමින් විද්‍යාත්මක අධ්‍යාපනය සඳහා ප්‍රංශය තෝරාගන්නා ලෙස ලොවට ඇරයුම් කර තිබේ.