April 18, 2023

නිදහසින් පසු ලංකාව පාලනය කළ නායකයන් 14 දෙනාගෙන් 11 දෙනෙකුම පවුල් පහකට අයත්වූවන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

‍ඊට තම පවුල ද අයත් බවත් මෙම පාලන ක්‍රමය ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදයට හේතුවක් වූ බවත් ඇය සදහන් කරයි.

මෙම තත්වයට එරෙහි රැඩිකල් වෙනසක් ඉල්ලා පසුගිය සමයේදී ජනතාව නැගී සිටි බව ද ඇය පවසයි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මෙම අදහස් පළකළේ,  2023 මන්ජිත් සිං අනුස්මරණ දේශනය මෙවර මාර්ගගත තාක්ෂණය ඔස්සේ පවත්වමිනි.

දකුණු ආසියානු පදනම සහ චෙන්නායිහි ආසියානු ජනමාධ්‍ය විද්‍යාලය විසින් යුනෙස්කෝ සන්නාම තානාපතිවරයෙකු වූ මන්ජීත් සිං අනුස්මරණ දේශනය සංවිධානය කර තිබිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය මෙසේ ද සදහන් කළාය.

‘මෙරට සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ වාර්ගික ආගමික තුරැම්පු සෑම මැතිවරණයකදීම පාවිච්චි කළා. සමාජ සංවර්ධන දර්ශක අතින් ලංකාව ඉදිරියෙන් සිටියත්  නිදහස ලබා වසර හෑත්තෑපහක් ගතවද්දී අපේ රට අසමත් රාජ්‍යයක් බවට පත්ව තිබෙනවා. පුලුල්ව පැතිරුණු දූෂණය සහ ජාතික ගැටලුව නොවිසදීම වත්මන් අර්බුදයට මූලික හේතුන්. බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමට සිදුවීම කණගාටුදායක තත්වයක්. මේ වනවිට අපේ රටේ කෟෂිකර්මාන්තය සහ සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අර්බුදයක. සංචාරක කර්මාන්තයේ පසුබෑම . මහාපරිමාණ කර්මාන්ත අර්බුදයට ලක්වී විරැකියාව යාම ආදිය නිසා  ශ්‍රීලංකාවට දැඩි කොන්දේසි මත අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට සිදුව තිබෙනවා. දේශපාලනය, අධිකරණය , පොලිසිය, රාජ්‍ය සේවය ඇතුළු සෑම ක්ෂේත්‍රයකම පුලුල්ව පැතිරැණු දූෂණය  ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ප්‍රධාන කුලුණු ක්‍රමානුකූලව බිදදමා තිබෙනවා. මෙය අතිශය කණගාටුදායකයි.”