July 26, 2026

ඔටිසම් (Autism) සහ අනෙකුත් ස්නායු වර්ධන ආබාධ තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා වන දිවා සුරැකුම් සහ තෙරපි සත්කාර මධ්‍යස්ථාන ජාලයක් දිවයින පුරා ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ සෞඛ්‍ය, අධ්‍යාපන සහ සමාජ සේවා අමාත්‍යාංශ ඒකාබද්ධ කරමින් සංවිධානය කරනු ලබයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී, මේ සඳහා වන සවිස්තරාත්මක සංකල්ප යෝජනාව සති දෙකක් ඇතුළත සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හරහා රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් එම මුදල් ප්‍රතිපාදන විමධ්‍යගත කිරීමට නියමිතය.

විශේෂිත මානව සම්පත් සංවර්ධනය, විද්‍යාත්මකව තහවුරු කළ සත්කාර ආකෘතියක් සකස් කිරීම සහ පැහැදිලි මෙහෙයුම් මාර්ගෝපදේශ නිකුත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.

සෞඛ්‍ය විශේෂඥයන්, අධ්‍යාපනඥයන් සහ සමාජ සේවා නිලධාරීන්ගේ එකමුතුවෙන් මෙම දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය සමස්ත සහාය ලබාදීමට සැලසුම් කර ඇත.