July 19, 2026

නූතන සමාජය තුළ ආගමික ජීවිතය ක්‍රමයෙන් පිරිහීමට ලක්වීම පිළිබඳව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය දැඩි කනස්සල්ල පළකර ඇති අතර, බොහෝ පිරිස් විනෝදාස්වාදය උදෙසා වන්දනා ස්ථාන අත්හරිමින් සිටින බව පවසා තිබේ.

දේශනයක් පවත්වමින් කාදිනල් හිමිපාණන් පවසා ඇත්තේ, බොහෝ දියුණු රටවල ආගමික වතාවත් සඳහා සහභාගී වන පිරිස අඩුවීම හේතුවෙන් දේවස්ථාන වසාදමමින් පවතින බවයි.

“මිනිසුන් දැන් දේවස්ථානවලට එන්නේ නැහැ. ඔවුන් මෝඩ ලෙස පාපන්දු ක්‍රීඩාංගණ සහ අනෙකුත් විනෝදාස්වාද ස්ථාන කරා විශාල වශයෙන් රොද බඳිනවා” යැයි උන්වහන්සේ පවසති.

යුරෝපයේ බොහෝ විශාලතම දේවස්ථාන මේ වන විට බොහෝදුරට හිස්ව පවතින බව පෙන්වාදෙන කාදිනල් හිමිපාණන්, එය දෙවියන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටී ඇති බවට ලකුණක් ලෙස හැඳින්වීය.

1789 ප්‍රංශ විප්ලවය පිළිබඳව මතකය අවදි කරමින් මැල්කම් කාදිනල් හිමිපාණන් සඳහන් කළේ, සමාජය ක්‍රමයෙන් දෙවියන්ගෙන් තොර ලෝකයක් කරා ගමන් කරමින් සිටින බවත්, බොහෝදෙනකුගේ ජීවිත තුළ ආගමික ජීවිතයට හිමිවන්නේ ඉතා අවම ඉඩකඩක් බවත්ය.

සමාජයන් වඩාත් දියුණු යැයි කියාගන්නා තරමට, ඔවුන් බොහෝ දුරට සැබෑ මානුෂීය වටිනාකම්වලින් ඈත්වෙමින් පවතින බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරති. ඒ වෙනුවට මිනිසුන් අධ්‍යාත්මික ජීවිතය නොසලකා හරිමින්, කායික අවශ්‍යතා සහ තාවකාලික සතුට කෙරෙහි පමණක් අවධානය යොමුකරමින් සිටින බව උන්වහන්සේ පවසති.

මෙම ප්‍රවණතාවය හේතුවෙන් මිනිසා තමන් විසින්ම නිර්මාණය කරගත් ලෝකයක් තුළ වඩ වඩාත් හුදෙකලා වෙමින් පවතින බවට අනතුරු අඟවන කාදිනල් හිමිපාණන්, ඇදහිල්ල සහ මිනිස් ගෞරවය සුරකින වටිනාකම් නැවත සොයාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.