August 14, 2026

ඉදිරි ඉන්දීය ටෙස්ට් තරගාවලිය සඳහා නිරෝෂන් දික්වැල්ලව හදිසියේම කණ්ඩායමට කැඳවීමට හේතු වූ සැබෑ පසුබිම ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා විසින් ජනමාධ්‍ය වෙත හෙළිකළේය.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ධනංජය පැවසුවේ, ආරම්භයේදී කුසල් මෙන්ඩිස් අංක 7 ස්ථානයට ආදේශ කිරීමත් සමඟ දික්වැල්ලව කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදු වූ බවයි.

කෙසේවෙතත්, ආබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට සමස්ත ටෙස්ට් තරගාවලියම අහිමි වීමත් සමඟ නැවතත් දික්වැල්ලට ඒ සඳහා අවස්ථාව හිමිව ඇත.

“ගාල්ලේදී සෙල්ලම් කරද්දී ගොඩක්ම වැදගත් වෙන්නේ කඩලු රැකීමේ හැකියාව හොඳටම තියෙන ක්‍රීඩකයෙක් කණ්ඩායමේ සිටීමයි. තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් එක්ක කතාකරලා තමයි මේ තීරණය ගත්තේ. කඩලු රැකීමේ දක්ෂතාවය ගැන බලද්දී ඉදිරියෙන්ම හිටපු කෙනෙක් තමයි දික්වැල්ල” යනුවෙන් දික්වැල්ලව කණ්ඩායමට ගැනීමට හේතුව පවසමින් ධනංජය ද සිල්වා සඳහන් කළේය.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය හෙට (15) ගාල්ලේදී ආරම්භ වන අතර, දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 23 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.