February 26, 2026

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි අතර මෙම සති අන්තයේ පැවැත්වෙන සාකච්ඡා දෙරට අතර අනාගත හවුල්කාරිත්වයක් ඉදිරියට ගෙන යාමට අවස්ථාවක් ලබා දෙන බව ඉන්දියාව පවසයි.

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිය පළමු ඉන්දීය සංචාරය ලෙස හෙට ඉන්දියාවට පැමිණීමට නියමිත අතර ඔහු දින හතරක් එහි රැඳී සිටිනු ඇත.

2023 දී කාලිස්තානි බෙදුම්වාදියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික ආරවුලකින් පසු දැඩි පීඩනයකට ලක් වූ ද්විපාර්ශ්වික සබඳතාවලට නව ජවයක් ලබා දීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.

කැනේඩියානු අගමැතිගේ පළමු නැවතුම මුම්බායි වන අතර එහිදී ඔහු වෙනම ව්‍යාපාරික කටයුතුවලට සහභාගී වනු ඇත, ඉහළම ඉන්දියානු සහ කැනේඩියානු ආයතනික නායකයින්, මූල්‍ය විශේෂඥයින් සහ නවෝත්පාදකයින් සමඟ සාකච්ඡා කිරීමට ද නිටමිතයි.

කාර්නි ඉරිදා නවදිල්ලියට පැමිණෙන අතර, සඳුදා අගමැතිවරුන් දෙදෙනා පුළුල් සාකච්ඡා පවත්වනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, පසුගිය ජුනි මාසයේදී කනනාස්කිස් හි සහ පසුගිය නොවැම්බර් මාසයේදී ජොහැන්නස්බර්ග් හි ඔවුන්ගේ පෙර රැස්වීම් මත පදනම්ව, ඉන්දියා-කැනඩා උපායමාර්ගික හවුල්කාරිත්වයේ විවිධ ක්ෂේත්‍ර හරහා මේ දක්වා ලබා ඇති ප්‍රගතිය නායකයින් දෙදෙනාම සමාලෝචනය කරන බවයි.

“මෙම සංචාරය ඉන්දියාව-කැනඩාව ද්විපාර්ශ්වික සබඳතා සාමාන්‍යකරණය කිරීමේ වැදගත් සන්ධිස්ථානයක සිදු වේ,” අමාත්‍යාංශය පැවසීය.