March 10, 2024

කැනඩාවේ ඔටාවා නුවර බාර්හේවන්හි පසුගියදා සිදුවූ සමුහ ඝාතනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශෝක උපහාරයක් ප්‍රදේශවාසීන් සහ ප්‍රාදේශීය ශ්‍රී ලාංකීය ප්‍රජාවේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ පවත්වා තිබේ.

එරට සිදු වූ දරුණුතම සමූහ ඝාතනවලින් එකක් ලෙස විස්තර කෙරෙන මෙම අපරාධයට ගොදුරුවූවන් සිහිපත් කර රැස්ව සිටි ජනතාව මියගිය පවුල වෙනුවෙන් මල් සහ ත්‍යාග තබමින් යාඥා කර තිබේ.

ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ්, පොලිස් ප්‍රධානී එරික් ස්ටබ්ස් සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් මෙම ශෝකජනක රැස්වීමට සහභාගී වූ බව වාර්තා වේ.

“දුකට පත්වූවන් දුකින් නිදහස් වේවා” යැයි හිල්ඩා ජයවර්ධන බෞද්ධ ආරාමයේ නේවාසික භික්ෂුවක් වන සුනීත හිමි මෙහිදී පැවසීය.

මල්, සෙල්ලම් බඩු, නෝට්ටු සහ ඉටිපන්දම් එම ස්ථානයේ ගොඩගැසී ඇති අතර ඊට උඩින් නිදහසේ ලෙළදුන් බැලූන් හයක මියගිය අයගේ නම් එනම් 35 හැවිරිදි දර්ශනී ඒකනායක, ඇගේ හත් හැවිරිදි පුත් ඉනුක වික්‍රමසිංහ, ඇගේ දියණියන් සිව් හැවිරිදි අශ්විනි, තුන් හැවිරිදි රංයනා සහ මාස දෙකහමාරක් වයසැති කෙලී සහ පවුලේ හිතවතා වන 40 හැවිරිදි ගාමිණී අමරකෝන්ගේ නම් සටහන් කර තිබිණි.

පසුගිය බදාදා රාත්‍රියේ තරුණ මවක්, ඇගේ දරුවන් හතර දෙනා සහ පවුලේ මිතුරකු මෙලෙස ඝාතනයට ලක්ව තිබිණි.

මෙම මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ වින්දිතයන් සමඟ ජීවත් වූ 19 හැවිරිදි ශ්‍රී ලාංකිකයකුටය.

දරුවන්ගේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ දිවි ගලවා ගත් එකම පුද්ගලයා වන අතර සැකකරු සමඟ ඇති වූ අරගලයකදී සිදුවූ බව කියන තුවාල හේතුවෙන් ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

ප්‍රජා නායකයන් පැවසුවේ මෙම ඛේදවාචකයෙන් රට පුරා සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ සාමාජිකයන් ශෝකයෙන් සිටින බවයි.

ප්‍රජාව වෙනුවෙන් කතා කළ කැනඩාවේ බෞද්ධ මහා සම්මේලනයේ අධ්‍යක්ෂ නාරද කොඩිතුවක්කු, මෙම සිද්ධියේදී පළමු ප්‍රතිචාර දැක්වූවන්ට, නිලධාරීන්ට සහ පවුලට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ අනෙකුත් සංවිධානවලට ස්තූතිය පුද කළේය.

තමන් සිකුරාදා දිනයේ රෝහලේ සංචාරය කළ බවත් ධනුෂ්ක වික්‍රමසිංහ තවමත් කම්පනයෙන් පසුවන බවත් ඔහු පැවසීය.

ශෝකයට පත් එම පියා ඔහු වෙත ගලා එන සහයෝගයෙන් ශක්තිය ලබා ගනිමින් සිටින බව ද කොඩිතුවක්කු පැවසීය.

මියගිය අයගේ මරණ පරීක්ෂණ අවසන් වූ පසු අවමංගල්‍ය කටයුතු සංවිධානය කිරීමට පියා වන වික්‍රමසිංහ විසින් ප්‍රදේශයේ විහාරස්ථානයට බලය පවරා ඇති බව ඔහු පැවසීය.

ඔටාවාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් අන්සුල් ජෑන් පවසන්නේ අවමංගල්‍ය කටයුතු සඳහා පවුලේ සාමාජිකයන් ශ්‍රී ලංකාවෙන් පැමිණීමට අපේක්ෂා කරන බවයි.

මියගිය ගාමිණි අමරකෝන්ගේ දේහය ශ්‍රී ලංකාවට එවන ලෙස ඔහුගේ ඥාතීන් ඉල්ලීමක් ද කර තිබේ.