February 23, 2026

ද්විපාර්ශවික වෙළඳාම විවිධාංගීකරණය කිරීමට, නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ඉන්දු-පැසිෆික් කලාපයේ උපායමාර්ගික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමට කැනඩාව උත්සහ කරමින් සිටින බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි පෙබරවාරි 26 සිට මාර්තු 7 දක්වා ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවල සංචාරය කරන බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

කැනේඩියානු අගමැති කාර්යාලයට අනුව, මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය කාර්නි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සහ ජපාන අගමැති සනායි තකයිචි සමඟ ද්විපාර්ශවික වශයෙන් සාකච්ඡා පවත්වනු ඇත.

ගෝලීය අවිනිශ්චිතතාවය මධ්‍යයේ කැනඩාව වඩාත් ඔරොත්තු දෙන සහ ස්වාධීන ආර්ථිකයක් ගොඩනැගීමට උත්සාහ කරන බැවින්, වෙළඳාම, බලශක්තිය, තාක්ෂණය, කෘතිම බුද්ධිය (AI), තීරණාත්මක ඛනිජ සහ ආරක්ෂාව ඇතුළු ප්‍රධාන අංශවල සහයෝගීතාව පුළුල් කිරීම මෙම සංචාරයේ අරමුණයි.

අගමැති මෝදි සමඟ නවදිල්ලියේදී සිදු කෙරෙන සාකච්ඡාවලදී වෙළඳාම, පිරිසිදු බලශක්තිය, AI, කුසලතා හුවමාරුව, සංස්කෘතිය සහ ආරක්ෂාව යන ක්ෂේත්‍රවල අභිලාෂකාමී හවුල්කාරිත්වයන් හරහා ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කැනඩාවේ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීම සහ ද්විපාර්ශ්වික වාණිජ කටයුතු ශක්තිමත් කිරීම සඳහා ඔහු ව්‍යාපාරික නායකයින් හමුවීමට ද නියමිතය.

ලොව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය වන ඉන්දියාව, 2024 දී කැනඩාවේ හත්වන විශාලතම භාණ්ඩ හා සේවා වෙළඳ හවුල්කරුවා වූ අතර, ද්විපාර්ශ්වික වෙළඳාමේ වටිනාකම ඩොලර් බිලියන 30.8 කි. පසුගිය වසරේ පැවති G20 නායකයින්ගේ සමුළුව අතරතුර, 2030 වන විට වෙළඳාම ඩොලර් බිලියන 70 දක්වා දෙගුණ කිරීම අරමුණු කරගත් විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් සඳහා සාකච්ඡා විධිමත් ලෙස දියත් කිරීමට දෙරට එකඟ විය.