May 12, 2026

යාන් ඔය ජලාශය ඉදිකිරීම හේතුවෙන් කුඹුරු ඉඩම් අහිමි වූ පවුල් 245ක් සඳහා ලබා දිය යුතු විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට අතිරේක වන්දි මුදලක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

අනුරාධපුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අයත් කුඹුරු ඉඩම් අක්කර 11,500කට පමණ යල සහ මහ දෙකන්නයේම වගා කිරීම සඳහා ජලය ලබා දීමේ අරමුණින් ඝනමීටර මිලියන 169ක ධාරිතාවකින් යුතු යාන් ඔය ජලාශය ඉදි කෙරිණි.

එම ජලාශය ඉදිකිරීමේදී අත් කරගනු ලැබූ ඉඩම් සඳහා වන්දි ගෙවීමේ කටයුතු රජයේ තක්සේරුව අනුව සිදුකර ගෙන යයි.

එම ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුරු ඉඩම් අහිමි වූ පවුල් සඳහා විකල්ප කුඹුරු ඉඩම් කට්ටි 313ක් ලබා දී ඇත.

එමෙන්ම, තෝරාගත් පවුල් 614ක් සඳහා විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට අතිරේක වන්දි මුදල් ලබා දීමට 2024-03-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් විසින් අතිරේක වන්දි මුදල් ලැබීමට සුදුසු පවුල් 540ක් හඳුනා ගෙන ඔවුන් සඳහා වන්දි මුදල් ලබා දී ඇත.

මේ අතර විකල්ප කුඹුරු ඉඩමක් ලබා දීමට හැකියාවක් නොමැති බැවින් අතිරේක වන්දි මුදල් ලැබීම සඳහා හිමිකම් ලබන තවත් පවුල් 245ක් හඳුනාගෙන තිබේ.

රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් වාරි ජලය මඟින් යල සහ මහ දෙකන්නය වගා කරන කුඹුරු ඉඩම් අක්කර එකහමාරක (1 1/2) වටිනාකම රුපියල් 1,800,000/-ක් වශයෙන් ඇස්තමේන්තුගත කර ඇත.

ඒ අනුව, තවදුරටත් අදාළ පවුල් 245 සඳහා එක් පවුලකට රුපියල් 1,800,000/- බැගින් අතිරේක වන්දි මුදලක් ගෙවීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.