May 23, 2023

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මිය ගිය සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයින් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම පුද්ගලයින් අනුස්මරණය කිරීම සඳහා ස්මාරකයක්, සංහිඳියාවේ සහ ප්‍රතිසන්ධානයේ සංකේතයක් ලෙස කොළඹ නගරයේ ස්ථාපනය කිරීමට රජය සුදානම් වේ.

ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඊයේ(22) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

එම යෝජනාවට අදාළ කැබිනට් පත්‍රිකාවේ මෙසේ සඳහන් වේ.

“නිදහසින් පසු ශ්‍රී ලංකාව සිවිල් කැළඹීම්, දේශපාලන නොසන්සුන්තා, ජනවාර්ගික ගැටුම් සහ දීර්ඝකාලීන සන්නද්ධ ගැටුමකින් යුතු ඉතිහාසයකට මුහුණ දී ඇති අතර, එම කාලය තුළ සියලු ජනවර්ග, ආගම්, වෘත්තීන් සහ වෙනත් අනන්‍යතාවන්ට අයත් පුරවැසියන් එම අන්තරායන් හා දුක් වේදනාවලට අසීමිත ලෙස භාජනය විය. වාර්ගිකත්වය, ආගම, දේශපාලන මතවාදය හෝ වෙනත් හේතූන් මත පදනම් වූ ඕනෑම ආකාරයක ගැටුම් පුරවැසියාගේ යහපැවැත්මට බෙහෙවින් අහිතකර වන අතර ජාතියේ ඉදිරි ගමනට බාධාවක් වන බව අතීතයේ කටුක අත්දැකීම් සනාථ කර ඇත.

කෙසේ වෙතත්, පුරවැසියන්ගේ සාමය හා ආරක්ෂාව අනතුරේ හෙලමින් සහ සමාජ හා ආර්ථික පද්ධති කඩාකප්පල් කරමින් එවැනි සිදුවීම් වරින්වර මතු වීමේ ප්‍රවණතාව දිගටම පවතී. 2018 අංක 34 දරන හානිපූරණය සඳහා වන කාර්යාලය පනත මඟින් අනුස්මරණ සහ වෙනත් යටිතල පහසුකම් ආකාරයෙන් සාමූහික හානිපූරණ සැලසීම පීඩාවට පත් වූ පුද්ගලයින්ගේ ප්‍රජාවන්ට හෝ කණ්ඩායම්වලට පිළියමක් සඳහා ඇති අයිතිය වශයෙන් පිළිගනු ලැබ ඇත.”