June 1, 2026

හෝමාගම, මීගොඩ හන්දිය ප්‍රදේශයේ වෙසක් දන්සලක් අසල පෝලිමක සිටි පිරිසක් යටකරමින් සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැබ් රථ රියදුරු අනතුර සිදුවන අවස්ථාවේදී දැඩි ලෙස බීමත්ව සිට ඇති බව පොලිසිය තහවුරු කර තිබේ.

මෙම අනතුරින් කුඩා දරුවකු ඇතුළු තවත් පුද්ගලයන් හත්දෙනකු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සිදුවීමෙන් පසු රථය නතර නොකර පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයකු බව හඳුනාගෙන තිබේ.

පොලිසිය පවසන පරිදි අනතුරින් කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයන් තිදෙනකු ඇතුළු 6 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය කාන්තාවන් වයස අවුරුදු 15, 32 සහ 56 වයස්වල පසු වන අතර පිරිමි පුද්ගලයන් වයස අවුරුදු 35, 38 සහ 58 අය බව පොලිසිය පවසයි.

ඊයේ (31) රාත්‍රියේ හෝමාගම, මීගොඩ ප්‍රදේශයේ ධාවනය වූ කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන, එහි තිබූ වෙසක් දන්සලකින් ආහාර ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ජනතාව දෙසට කඩාවැදී ඇත.

අනතුර සිදුකිරීමෙන් අනතුරුව රියදුරු කැබ් රථයද සමඟ එම ස්ථානයෙන් පළාගොස් තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.