September 26, 2026

උපකාරක පන්තියකට සහභාගි වීම සඳහා නිවසින් පිටත්ව ගිය 15 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියකට බස් රථයක් තුළදී මත්කාරකයක් මිශ්‍ර කළ ජල බෝතලයක් ලබාදී, ඇය අඩ සිහියට පත්කර බස් රථය තුළදීම දූෂණය කළ බවට චෝදනා ලැබූ කොන්දොස්තරවරයකු තිරප්පනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 20 හැවිරිදි තරුණයෙකි. ඔහු තම පියාට අයත් පෞද්ගලික බස් රථවල කොන්දොස්තරවරයෙකු ලෙස කටයුතු කළ අයෙකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් පරීක්ෂණ ඒකකය වෙත ලත් පැමිණිල්ලකට අනුව තිරප්පනේ පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

දැනට වයස අවුරුදු 17 ක් වන වින්දිත දැරිය මෙම සිද්ධිය වන අවස්ථාවේදී (2025 වසරේදී) වයස අවුරුදු 15 යි මාස 09 ක බාලවයස්කාර දැරියක්ව සිටි අතර, එහිදී ප්‍රථමයෙන්ම මෙම අපරාධ ක්‍රියාවට ලක්ව ඇත.

අනුරාධපුර – කැකිරාව මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයා වූ සැකකරු, පසුගිය 2025 වසරේ දිනයක උපකාරක පන්තියට යෑමට නිවසින් පැමිණි දැරිය බස් රථයට නැග ගත් අවස්ථාවේදී “අද පන්ති යන්න එපා” යැයි පවසමින් ඇය පන්තියට යෑමෙන් වළකා අනුරාධපුරය නගරය වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

පසුව අනුරාධපුර නගරයෙන් සෙසු මගීන් බැස ගිය පසු, බස් රථය අනුරාධපුර නව බස් නැවතුම්පොළ ආසන්නයේ කුඹිච්චන්කුලම අසලට රැගෙන ගොස් රියදුරු සූක්ෂමව වෙනත් කටයුත්තකට පිටත් කර යවා දැරියට පානය කිරීම සඳහා වතුර බෝතලයක් ලබා දී ඇති අතර, එය පානය කිරීමෙන් පසු ඇය සිහිමද ගතියට පත් වූ අවස්ථාවේදී මෙම අපරාධය සිදුකර තිබේ.

සිහිය ලැබීමෙන් පසු තමා නිර්වස්ත්‍රව සිටිනු දැක මේ පිළිබඳව ඇය විමසූ අවස්ථාවේදී සැකකරු ඇයට බස් රථයෙන් බැසයන ලෙස බල කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වේ. මෙම සිද්ධියෙන් පසු අවස්ථා දෙකකදී මරදන්කඩවල ප්‍රදේශයේ ලැගුම්හලකට රැගෙන ගොස් සැකකරු ඇයට අතවර කර ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත.

පසුව දැරිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් 1929 ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි ඇමතුම් අංශය වෙත කරනු ලැබූ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ තිරප්පනේ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර රෝහලේ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇති අතර, දැරියගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ළමා ආරක්ෂක මණ්ඩල භාරයේ රඳවා වැඩිදුර විමර්ශන සිදුකරයි.