June 5, 2026

අර්ධ සන්නායක සහ දුර්ලභ පෘථිවි ඛනිජ වැනි සංවේදී ක්ෂේත්‍රයන්හි සැපයුම් සඳහා තනි රටවල් මත යැපීම වැළැක්වීමට, යුරෝපා සංගමය විසින් නව “විවිධාංගීකරණ යාන්ත්‍රණයක්” හඳුන්වා දිය යුතු බව එහි වෙළඳ ප්‍රධානී මාරොෂ් ෂෙෆ්චොවිච් පවසයි.

පසුගිය සිකුරාදා පැවැති ‘බ්‍රසල්ස් ආර්ථික ආරක්ෂණ සංසදය’ අමතමින් ඔහු කියා සිටියේ, සැපයුම් ජාලයන් විවිධාංගීකරණය කිරීම සඳහාම වෙන්වූ සුවිශේෂී වැඩපිළිවෙළක් දැන් යුරෝපයට අත්‍යවශ්‍ය වී ඇති බවයි.

“මේ සඳහා මගේ මනසේ තිබෙන්නේ ‘බලශක්ති සංගම් ආකෘතියයි. එය යුරෝපයට ඉතා වැදගත් වූවක්,” යැයි වෙළඳ ප්‍රධානියා සඳහන් කළේය.

2014 වසරේදී රුසියාව විසින් ක්‍රිමියාව ඈඳා ගැනීමෙන් පසු, රුසියානු බලශක්තිය මත යුරෝපයේ තිබූ යැපීම නැති කිරීම සඳහා ෂෙෆ්චොවිච්ගේ මූලිකත්වයෙන් මීට පෙර මෙම ‘බලශක්ති සංගම්’ ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාවට නංවා තිබුණි.

චීනයේ අධික කාර්මික නිෂ්පාදන ධාරිතාව සහ සහන මිලට භාණ්ඩ අපනයනය කිරීමේ ගැටලුවට මුහුණ දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ නායකයින් ජුනි 18-19 දිනවල පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවේදී සූදානමින් සිටී. එහිදී ගන්නා තීරණ ඉදිරියට ගෙනයාම යුරෝපීය විධායක සභාව වෙත පැවරෙනු ඇත.

මීට අමතරව, මෙම මස අගදී බ්‍රසල්ස් නුවරදී ෂෙෆ්චොවිච් සහ ඔහුගේ චීන පාර්ශවකරුවා වන වැන්ග් වෙන්ටාඕ අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතය.