April 29, 2026

තම සහෝදරියගේ නමින් බැංකුවේ තැන්පත් කර ඇති මුදල් ආපසු ගැනීම සඳහා ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ පුද්ගලයකු මියගිය සහෝදරියගේ ඇටසැකිල්ල බැංකුවට ගෙන ඒමේ පුවතක් වාර්තා වේ.

මෙම සිදුවීම ඔඩීෂා ග්‍රාමීන් බැංකුවේ මලිපෝසි ශාඛාවේදී සිදු වූ බව PTI පුවත් ඒජන්සිය වාර්තා කළේය.

ජීතු මුන්ඩා ලෙස හඳුනාගෙන ඇති 50 හැවිරිදි මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ බැංකු කළමනාකරුවන් ගිණුම් හිමියා රැගෙන එන ලෙස පැවසීමෙන් පසුව තමා මෙම පියවර ගත් බවයි.

අදාළ ගෝත්‍රිකයා ජනවාරි 26 වැනිදා මියගිය ඔහුගේ වැඩිමහල් සොහොයුරිය වන කල්රා මුන්ඩාගේ බැංකු ගිණුමෙන් රුපියල් 20,000ක් ලබා ගැනීමට උත්සාහ කර තිබේ.

“මම කිහිප වතාවක්ම බැංකුවට ගියා, එහි සිටි අය මට කිව්වා ගිණුමේ මුදල් ගන්න ගිණුම් හිමියා ගෙන එන්න කියලා. ඇය මිය ගොස් ඇති බව මම ඔවුන්ට කිව්වත් ඔවුන් මට ඇහුම්කන් දුන්නේ නැහැ. ඇයව බැංකුවට ගෙන ඒමට බල කළා. එමනිසා කලකිරීමෙන්, මම මිනීවළ හාරා ඇගේ මරණයට සාක්ෂියක් ලෙස ඇගේ ඇටසැකිල්ල රැගෙන ආවා,” යැයි මුන්ඩා වාර්තාකරුවන්ට පැවසීය.

පැට්නා පොලිසිය පැවසුවේ ජීතුට මුදල් ආපසු ගැනීම සඳහා නිසි ක්‍රියාවලිය පැහැදිලි කිරීමට බැංකුව අපොහොසත් වූ බවයි.

“ජීතු අකුරු නොදන්නා ගෝත්‍රික මිනිසෙක්. නීත්‍යනුකූල උරුමක්කාරයා හෝ නාමිකයා කවුදැයි ඔහු දන්නේ නැහැ. මියගිය පුද්ගලයාගේ ගිණුමෙන් මුදල් ලබා ගැනීමේ ක්‍රියාපටිපාටිය ඔහුට තේරුම් කර දීමට බැංකු නිලධාරීන් අපොහොසත් වෙලා,” පොලිසිය PTI පුවත් ඒජන්සියට පවසා ඇත.