August 13, 2024

ඡන්දය ලබාගැනීමට ඇතැම් මහජන නියෝජිතයන් ජනතාවට අල්ලස් ලබාදීම ඉහළ ගොස් ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 84 ක් ලැබී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරයි.

ඉන් වැඩි සංඛ්‍යාවක්, රාජ්‍ය බලය හා දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් වන බව ඔහු පැපවසයි.

මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 44 ක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රිය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කරයි.

ජනාධිපතිවරණයට අදාළව පොලිස් මෙහෙයුම් මැදිරියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 9 කි.

ඉන් පැමිණිලි 4ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පෙන්වාදෙයි.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගණන 5 කි.

මේ අතර, මැතිවරණයට අදාළ පැමිණිලි 320 ක් වාර්තා වී ඇතැයි ජාතික මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඉන් පැමිණිලි 103ක් වාර්තා වී ඇත්තේ, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ය.

සෙසු පැමිණිලි 214, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී තිබේ.