July 21, 2026

අනුරාධපුර ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක් බරපතළ ලෙස අපයෝජනයට ලක්කිරීමේ සිදුවීමට අදාළ විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් පවත්වන ලද රැස්වීමක් වාර්තා කිරීමේ සිද්ධියකට අදාළව,BBC සිංහල සේවයේ මාධ්‍යවේදීන් හෙට(22) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති අදාළ බරපතළ අපයෝජන චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල වත්මන් තත්ත්වය සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පසුගිය ජූනි 05 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී තිබිණි.

ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් මතුවූ කරුණු පදනම් කරගනිමින් මෙලෙස BBC සිංහල සේවයේ ජනමාධ්‍යවේදීන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.

සමාජය තුළ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති මෙම සිදුවීමට අදාළව වින්දිත දැරියගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු අදාළ ආයතන රැසක අවධානය යොමු වී ඇත.