November 18, 2026

රුවන්වැලිසෑය අසල ඇති වූ ගැටුම මෙහෙයවූ බවට චෝදනා එල්ල වී ඇති රාජාංගණයේ සද්ධාරතන ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නොවැම්බර් 26 වැනි දින විවෘත අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනීසිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියෝග කර තිබේ.

අත්අඩංගුවට ගෙන සිටින භික්ෂූන් සිව්නමක්, පිරිමි පුද්ගලයන් දෙදෙනකු සහ කාන්තාවකගෙන් සමන්විත සැකකරුවන් හත්දෙනකු වෙනුවෙන් නීතිඥවරුන් වන ඉන්දික ඉඹුල්පිටිය සහ නුවන් බැල්ලන්තුඩාව යන අය ඉදිරිපත් කළ ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කරමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ඊයේ (නොවැ. 17) මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප භික්ෂුව මෙම ඇප අයැදුම්පතට ඇතුළත් කර නොතිබිණි.

අධිකරණ කටයුතු අතරතුර විත්තියේ නීතිඥවරුන් කරුණු දක්වමින් කියාසිටියේ ගැටුම ඇති කිරීමට මුල් වූ බව කියන රාජාංගණයේ සද්ධාරතන ඇතුළු පුද්ගලයන් 25 දෙනකුට අධික පිරිසක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

ගැටුම වැළැක්වීමට අවස්ථාව තිබියදීත් පොලිසිය එය වැළැක්වීමට අපොහොසත් වූ බවට චෝදනා කළ නීතිඥවරුන්, වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් මෙම සිද්ධිය මෙහෙයවීමට පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධයක් තිබිය හැකි බවට ද සැක පළකළහ.

එම කරුණු දැක්වීම්වලින් අනතුරුව, නම්කරන ලද පුද්ගලයන්ට එරෙහිව පියවර නොගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියෝග කළේය.