February 27, 2026

අ.පො.ස. උසස් පෙළට නීතිය විෂයයක් ලෙස හඳුන්වා දීම සඳහා ඉදිරියේදී පැවැත්වීමට නියමිත සමාලෝචන ක්‍රියාවලියේදී තමන් සමඟ සාකච්ඡා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී ඇති බව ඩේලි මෝර්නිං පුවත්පත වාර්තා කර තිබේ.

ඩේලි මෝර්නිං පුවත්පතට අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් චතුර ගල්හේන පවසා ඇත්තේ පාසල් විෂය මාලාවට නීතිය ඇතුළත් කිරීමේ යෝජනාව අමාත්‍යාංශය පිළිගෙන ඇති අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයට උපදේශනය සඳහා ආරාධනා කර ඇති බවයි.

“නීතිය විෂයයක් ලෙස හඳුන්වා දෙන ලෙස අපි රජයෙන් ලිඛිතව ඉල්ලා සිටිනවා, සමාලෝචන ක්‍රියාවලිය ආරම්භ වූ විට, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ අදාළ නීති පීඨවලට උපදේශනය සඳහා ආරාධනා කරන බව ඔවුන් අපට දන්වා තිබෙනවා,” යියනුවෙන් ඔහු පවසා තිබේ.

මෙම වසරේ (2026) හඳුන්වාදෙන නව මොඩියුලවල එම යෝජනාව සැළකිල්ලට ගෙන තිබේද යන්න සම්බන්ධයෙන් කළ විමසුමකට ඔහු පැහැදිලි කර ඇත්තේ දැනට පවතින සාමාන්‍යපෙළ විෂය නිර්දේශයට නීති අධ්‍යයන ඇතුළත් කර නොමැති බවයි.

කෙසේවෙතත්, උසස් පෙළ විෂය නිර්දේශ සඳහා මොඩියුල සංවර්ධනය කිරීමට පටන් ගන්නා විට යෝජනාව සැළකිල්ලට ගන්නා බව ඔහු සඳහන් කර තිබේ.

අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇති පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යයේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මුලින්ම තම ඉල්ලීම අමාත්‍යාංශයට ඉදිරිපත් කළේ පසුගිය වසරේ (2025) ය.

නීතිය පිළිබඳ විෂයයක් හෝ ඒ හා සමාන විෂයයක් ප්‍රාථමික අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් ලෙස සහ උසස් පෙළ විභාගයේදී තේරීම් විෂයයක් ලෙස හඳුන්වා දිය යුතු බවට සංගමය යෝජනා කර ඇත.

ලොව පුරා පාසල්වල නීතිය විෂයයක් ලෙස උගන්වනු ලබන බව උපුටා දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම අවශ්‍යතාව කාලෝචිත අවශ්‍යතාවක් ලෙස අවධාරණය කර ඇත.