June 17, 2026

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විදේශීය සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියෝග කළේය.

මෙම නඩුව අද දින අධිකරණය හමුවේ නැවත කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

නඩු විභාගය අතරතුරදී, මෙම නඩුවේ තුන්වැනි සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට දන්වා සිටියේ, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය ප්‍රකාරව තම සේවාදායකයා රහසිගත ප්‍රකාශයක් කිරීමට කැමැත්තෙන් පසුවන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට වාර්තා කළේ 2014 වසරේදී සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වෙත වෙන් කර තිබූ රුපියල් මිලියන 7.8ක (හැත්තෑ අට ලක්ෂයක) මුදලක්, ඌව පළාත් සභා මැතිවරණ සමයේදී ටී-ෂර්ට් 12,000ක් බෙදා හැරීම සඳහා අවභාවිත කරමින් රජයට පාඩු සිදුකර ඇති බවයි.

මෙම චෝදනා පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති බව විමර්ශකයෝ අධිකරණය හමුවේ තහවුරු කළහ.

මෙහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, රිමාන්ඩ් භාරයේ පසුවූ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජවුෆර්ව රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අතර, ඔහුට විදේශ ගමන් තහනමක් ද පැනවීය.

මීට අමතරව, නඩුවේ ‘බී වාර්තාවේ’ නම සඳහන් කර ඇති කාර්යාංශයේ මුදල් අධ්‍යක්ෂවරයාව ද සැකකරුවකු ලෙස නම් කරන්නේදැයි මහේස්ත්‍රාත්වරයා විමසා සිටි අතර, ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව CIDය ප්‍රකාශ කළේය.

ඒ අනුව, මෙම නඩුව නැවත වරක් ලබන ඔක්තෝබර් 14 වැනිදා කැඳවීමට අධිකරණය තීරණය කළේය.