April 29, 2026

බංග්ලාදේශයේ පළමු න්‍යෂ්ටික බලාගාරයට යුරේනියම් ඉන්ධන යෙදීම ඊයේ (28) ආරම්භ කර තිබේ.

මෙම ක්‍රියාකාරකම සිදුවන්නේ විදුලිබල ජාලයට ඇති පීඩනය සමනය කිරීම සඳහා ගෙන එන පියවරක් ලෙසිනි.

ඒ අනුව මෙගාවොට් 2,400ක් මෙම බලාගාරයෙන් අපේක්ෂා කෙරේ.

බලාගාරය ක්‍රියාත්මක වන විට, මිලියන 170ක ජනතාවක් සිටින බංග්ලාදේශයේ විදුලි ඉල්ලුමෙන් සියයට 10ක් සපුරාලිය හැකි බව රජය පවසයි.

ඇමරිකානු ඩොලර් බිලියන 11ක වියදමින් රූප්පූර් න්‍යෂ්ටික බලාගාරයේ ඉදිකිරීම් 2017 දී ආරම්භ වූ අතර, 2027 අග භාගයේදී සම්පූර්ණ නිෂ්පාදනයට පෙර මේ වසරේ අගෝස්තු මාසය වන විට මෙගාවොට් 300ක පමණ මූලික විදුලි උත්පාදනයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

ගිම්හාන කාලයේ දී මිනිසුන් වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කරන විට බංග්ලාදේශයේ විදුලි ජාලයට සෑම වසරකම පීඩනයක් එල්ල වේ.

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඇති වූ බලශක්ති අර්බුදය මත තත්ත්වය තවත් නරක අතට හැරී ඇත.

බංග්ලාදේශයට අවශ්‍ය වන තෙල් හා ගෑස්වලින් සියයට 95ක්ම ආනයනය කරන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ මැදපෙරදිගිනි.

මෙම මස මුලදී අදහස් දැක්වූ බංග්ලාදේශ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ෆකීර් මහබුබ් ආනම්, අගෝස්තු මාසය වන විට බලාගාරයෙන් විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක් පමණ විදුලිය සපයනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසීය.