August 19, 2023

කිණිතුල්ලන් විශේෂයක් හේතුවෙන් ගාල්ලේ කරන්දෙණිය සහ කොස්ගොඩ ප්‍රදේශවල කුරුඳු ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.

මිනිස් සිරුරින් ලේ උරා බොන මෙම කිණිතුල්ලන්ගෙන් සිදුවන හානි සඳහා ප්‍රතිකාර ලබාගැනීමට එම ප්‍රදේශවල ජනතාව වැඩි වශයෙන් රෝහල් වෙත පැමිණෙන බව වාර්තා සඳහන් කරයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය සහ කොස්ගොඩ ආදී ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ කුරුඳු වගාවයි.

මෙම ප්‍රදේශවල දිවිගෙවන මොණරුන් සහ ඌරන්ගේ ශරීරවල සිටින මෙම කිණිතුල්ලන් ඉවත් කරගැනීම සඳහා එම සතුන් සාමාන්‍යයෙන් සිදුකරන්නේ සිරුර කුරුඳු ගස්වල ඇතිල්ලීමය.

ඉන් එම කිණිතුල්ලන් කුරුඳු ගස් වෙත ව්‍යාප්ත වී ඇති අතර පසුව කුරුඳු කැපිමේදී ඔවුන් කුරුඳු ගොවීන්ගේ ශරීර වෙත ගොඩවන බව ප්‍රදේශවාසීහු පවසති.

මිනිස් ශරීරයෙන් ලේ උරා බොන මෙම කිණිතුල්ලන් කන්වලටද ඇතුල් වන බවට ගොවීහු මැසිවිලි නගති.

කිණිතුල්ලන්ගෙන් සිදුවන ආසාදනවලට සහ එම සතුන් ඉවත් කරගැනීම සඳහා මෙම ප්‍රදේශවල ජනතාව බලපිටිය සහ ඌරගස්මංහන්දිය යන රෝහල් වෙත පැමිණීමත් සුලබ වී තිබේ.

එමනිසා මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මොණරා සහ ඌරු ගහණය පාලනයට මැදිහත් වන ලෙස කුරුඳු ගොවීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.