November 2, 2026

චීනය විසින් සිදුකරනු ලබන හමුදාමය බලවර්ධනය හේතුවෙන් ගිනිකොනදිග ආසියාව තුළ දැඩි “පීඩනකාරී වාතාවරණයක්” නිර්මාණය වෙමින් පවතින බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් ප්‍රකාශ කළේය. ඔහු මෙසේ පැවසුවේ පිලිපීනයේ සෙබු නුවර පැවැත්වෙන ගිනිකොනදිග ආසියානු රාජ්‍යයන්ගේ සංගමයේ (ASEAN) ආරක්ෂක අමාත්‍ය සමුළුවට චීනය සහභාගී වීම සම්බන්ධයෙන් බීජිං පාලනය සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මතභේදයක් හටගෙන ඇති අතරවාරයේදී ය.

ආසියාන් ආරක්ෂක අමාත්‍යවරුන්ගේ ‘ප්ලස්’ (ADMM-Plus) සමුළුවට සමගාමීව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාල්ස් සඳහන් කළේ, චීනයේ මෙම පියවර දෙවන ලෝක යුද්ධයෙන් පසුව වාර්තා වූ විශාලතම සම්ප්‍රදායික හමුදා ව්‍යාප්තිය බවයි.

AFP පුවත් සේවයට අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, “තමන් මෙලෙස හමුදා බලය තර කරන්නේ මන්දැයි චීනය පැහැදිලි කිරීමක් කර නැහැ. මේ සියල්ලගේ ප්‍රතිඵලයක් ලෙසයි කලාපය තුළ පීඩනයක් ගොඩනැගී තිබෙන්නේ,” යනුවෙනි.

චීනයේ මෙම අසීමිත ක්‍රියාකාරීත්වය ඕස්ට්‍රේලියානු රජයට ද අභියෝගයක් වී ඇති බවත්, එකම මතයක සිටින මිත්‍ර රටවල් සහ හවුල්කරුවන් සමඟ සහයෝගීතාව පුළුල් කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

ලෝකයේ පොදු නීති පද්ධතිය නොකඩවා ක්‍රියාත්මක වන බවට අප තහවුරු කළ යුතුයි. මන්ද ඕස්ට්‍රේලියාව වැනි මධ්‍යම ප්‍රමාණයේ බලවත් රටකට සිය පැවැත්ම තහවුරු කරගත හැක්කේ එම නීති රාමුව තුළින් පමණයි,” යනුවෙන් ද ඔහු පැවසීය.

පසුගිය ජූලි මාසයේදී චීනය විසින් දකුණු පැසිෆික් කලාපයට න්‍යෂ්ටික බලපෑමක් කළ හැකි බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීම ප්‍රකෝපකාරී මෙන්ම ස්ථාවරත්වයට තර්ජනයක් බව කියමින් ඕස්ට්‍රේලියාව ඊට දැඩි විරෝධය පළ කර තිබුණි.