February 18, 2026

2021 ලෝක ශූරයන් වූ ඕස්ට්‍රේලියාවට, 2026 ICC පිරිමි T20 ලෝක කුසලානයේ කණ්ඩායම් අදියරෙන් පසු නිල වශයෙන් ඉවත් වීමට සිදුව තිබේ.

සිම්බාබ්වේ සහ අයර්ලන්තය අතර ඊයේ(17) පල්ලෙකැලේහිදී පැවති තරගය වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමෙන් පසුව ඔවුන්ට මෙම ඉරණම අත්විය.

එහිදී අයර්ලන්තය සහ සිම්බාබ්වේ අතර එක ලකුණ බැගින් බෙදී ගිය අතර ඒ අනුව ලකුණු සටහනේ දෙවැනියට සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු පහක් දක්වා ඉහළ ගියේය.

කණ්ඩායම් අදියර යටතේ සිකුරාදා ඕමානය සමග පැවැත්වෙන තරගයේ දී ඕස්ට්‍රේලියාව ඔවුන් පරාජය කළ ද ඕස්ට්‍රේලියාවට හිමිවන ලකුණු දෙකත් සමග ඔවුන්ට ලබා අගත හැකි වන්නේ උපරිම ලෙස ලකුණු හතරක් පමණි.

මෙම කාණ්ඩයෙන් ඉවත් වූ පළමු කණ්ඩායම ඕමානය විය.

ඊයේ තරගයේ ප්‍රතිඵලයක් නොමැති වීමත් සමඟ තරගාවලියේ ඉදිරිය සඳහා අයර්ලන්තයේ දොරටු ද වැසී ගොස් ඇත.

ශ්‍රී ලංකාව හමුවේ කඩුලු අටක පරාජයකින් පසු ඕස්ට්‍රේලියාවේ සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු බිඳ වැටී තිබිණි.

දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත ඒ සඳහා පන්දුවෙන් නායකත්වය දුන් අතර ඔහු ඕවර හතරකදී ලකුණු 37කට කඩුලු තුනක් දවා ගත්තේය.

පිළිතුරු වශයෙන් පැතුම් නිස්සංක පන්දු 52 කදී නොදැවී ලකුණු 100ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට ඕවර 18ක් ඇතුළත විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙමින් සුපිරි 8 වටයේ ඔවුන්ගේ ස්ථානය තහවුරු කළේය.

ඕස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ අතර සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ද ලකුණු 23කින් පරාජය විය.

මෙම තරගාවලියේ කැන්ගරුවන්ගේ එකම ජයග්‍රහණය අයර්ලන්තයට එරෙහිව ලැබුණු අතර, එහිදී ඕස්ට්‍රේලියානුවන් කොළඹ පැවති ඔවුන්ගේ ආරම්භක තරගයේදී ලකුණු 67ක ජයග්‍රහණයක් වාර්තා කර තිබිණි.