April 25, 2026

සයිබර් අපරාධකරුවන් කණ්ඩායමක් මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් සොරකම් කළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු නිලධාරීන් දැනට සහාය වෙමින් සිටින බව මෙරට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් පවසයි.

මෙම අරමුදල් ඕස්ට්‍රේලියාව සඳහා ද්විපාර්ශ්වික ණය ආපසු ගෙවීමක කොටසක් වූ අතර එය 2025 සැප්තැම්බර් මාසයේදී ගෙවීමට නියමිතව තිබිණි.

ඒ අනුව මෙම ගෙවීම ජනවාරි මාසයේදී සිදු විය.

ශ්‍රී ලංකාව නියමිත ගෙවීම සිදුකිරීමෙන් පසු සයිබර් අපරාධකරුවන් මැදිහත් වී අරමුදල් වෙනත් ගිණුම් වෙත හරවා ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් විමසූ විට, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා පැවසුවේ, “අපගේ දෘෂ්ටිකෝණයෙන්, ඇත්ත වශයෙන්ම, මම ඉදිරිපත් කරන්නේ කරුණු දෙකක්. පළමුව, අපි පැහැදිලිවම සිද්ධිය පිළිබඳ දන්නා අතර කැන්බරා හි අපගේ නිලධාරීන් ශ්‍රී ලංකාවේ විමර්ශනයට සහාය වෙමින් සිටිනවා. මම ඉදිරිපත් කරන දෙවැනි කරුණ නම්, ශ්‍රී ලංකාව ණය තිරසාරභාවයට නැවත පැමිණීමට සහාය වීම සඳහා අපගේ අඛණ්ඩ කැපවීම මෙමගින් අඩපණ නොකරන බවයි.” යනුවෙනි.

ඔහුට අනුව, ප්‍රධාන ගැටළු ශ්‍රී ලංකාව දැනටමත් සිදු කර ඇති විමර්ශනය හරහා විසඳා ගත යුතුය.

ශ්‍රී ලංකාව මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් විවිධ ආයතනවල මැදිහත්වීමෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.