July 30, 2026

සියලුම රජයේ සංචිත වාහනවල රාජ්‍ය ලාංඡනය සවිකිරීම අනිවාර්ය කර තිබියදීත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතු සංචිත වාහන 50ක රාජ්‍ය ලාංඡනය යොදා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.

එම වාර්තාවට අනුව අනාවරණය වූ ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ.

2016 දෙසැම්බර් 29 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව, සෑම මාස 12කට වරක්, කිලෝමීටර් 25,000ක ධාවනයකින් පසු හෝ ප්‍රධාන එන්ජින් අලුත්වැඩියාවකින් පසුව (මුලින්ම යෙදෙන අවස්ථාවට අනුව) ඉන්ධන දහන පරීක්ෂාවක් සිදුකළ යුතු වුවද, පාර්ලිමේන්තුව සතු වාහන 41ක අදාළ පරීක්ෂණ සිදුකර තිබී නැත.

පාර්ලිමේන්තුවට අයත් වාහන 12ක් වෙන්දේසි කිරීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් පසුගිය වසරේ මැයි 28 වැනිදා තීරණය කර තිබුණද, මේ දක්වාත් එම වෙන්දේසි කටයුතු සම්පූර්ණ කර නොමැත.

ජ්‍යෙෂ්ඨ මට්ටමේ විධායක තනතුරක වසර 6ක සක්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කර නොමැති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් තිදෙනෙකුට, අදාළ චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව සහනදායී මෝටර් රථ බලපත්‍ර නිකුත් කර තිබේ.

ඒ සඳහා විධිමත් අනුමැතියක් ලබාගත් බවට වන සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් කිරීමට ද පාලනාධිකාරිය අපොහොසත් වී ඇත.