April 23, 2026

ශ්‍රී ලංකා යුද හමුදාව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩුවේ විමර්ශන කටයුතුවලට සහාය ලබානොදෙන බව ඊයේ(22) අධිකරණයේදී අනාවරණය විය.

නඩුව අතරතුර අදහස් දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, “ස්වාමීනි මේ ආකාරයේ නඩුවලට යුද හමුදා නිලධාරීන් සැකකරුවන් වශයෙන් ඉදිරිපත් කළාම ඊට අදාළ නඩු ගාස්තු ගෙවන්නේ යුද හමුදා අරමුදල්වලින්. ඒ වගේම පරීක්ෂණවලට සහය ලබාදෙන්නෙත් නෑ. ඒ නිසා මා අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා මේ පරීක්ෂණවලට සහාය ලබාදෙන ලෙස යුද හමුදාපතිවරයාට හා යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියාට නියෝගයක් නිකුත් කරන ලෙසට” යනුවෙනි.

ඒ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරයා “යුද හමුදාව කියන්නේ රජයේ ආයතනයක්. ඔවුන් සිට ගත යුත්තේ නීතිපතිවරයා සමග යි. ඊට පරිබාහිරව ගිහිල්ලා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමක් කරන්න බැහැ. එවැනි දෙයක් කරනවා නම් ඒක නීතිවිරෝධී ක්‍රියාවක්. ඒ නිසා මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට අවශ්‍යතාවක් නෑ. මොක ද මේ සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට නීතිපතිවරයාට බලය තිබෙනවා. මෙවැනි නියෝගයක් නිකුත් කිරීම හරහා නීතිපතිවරයාගේ බලය හෑල්ලුවට ලක්වීමක් සිදුවෙනවා. නමුත් අධිකරණ නියෝගවලට පරිබාහිරව යම් කණ්ඩායමක් කටයුතු කරනව නම් ඔවුන්ට එරෙහිව අධිකරණට අපහාස කිරීම යටතේ කටයුතු කළ හැකියි,” යනුවෙන් සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.