January 20, 2026

වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින් ත්‍රිකුණාමලය මුහුදු තීරයේ නීතිවිරෝධී ඉදිකිරීම් සිදු කළ බවට චෝදනා ලැබ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් 09 දෙනෙකුට අදාළ නඩුව ඊයේ (19) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් සම්සුදීන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා සහ පොලිසිය අතර ඇති වූ සෘජු මත ගැටුමක් හේතුවෙන් නඩුවේ ඉදිරි කටයුතු පිළිබඳ දැඩි අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය විය.

නඩුව විභාගයට ගත් අවස්ථාවේදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, අභියාචනා අධිකරණයේ පවතින රිට් පෙත්සමකට අදාළව ඇති කරගත් එකඟතාවක් මත, සැකකරුවන්ට එරෙහිව ඇති වෙරළ සංරක්ෂණ පනත යටතේ වන පළමු චෝදනාව ඉවත් කර ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවයි.

මෙම චෝදනාව ඉවත් කරගතහොත්, මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන්ට ඇප ලබාදීම පිළිබඳ සලකා බැලීමට නීතිමය ඉඩකඩක් පවතින බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කෙසේවෙතත්, නීතිපතිවරයාගේ මෙම තීරණයට ත්‍රිකුණාමලය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිස් කණ්ඩායම දැඩි විරෝධය පළ කළහ. නඩුව පවරා ඇත්තේ පොලිසිය බැවින්, චෝදනා ඉවත් කර ගැනීමට තමන් එකඟ නොවන බව ඔවුහු අවධාරණය කළහ.

මේ සමඟ රජයේ නීතිඥවරයා සහ පොලිසිය අතර අධිකරණය තුළ සෘජු මත ගැටුමක් ඇති විය. දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පහත කරුණු අවධාරණය කළේය:

නීතිපතිවරයාට නඩුවක් තමන් යටතට ගැනීමේ බලය තිබුණද, පොලිසියේ වාර්තාවක්ද මේ සඳහා අවශ්‍ය වේ.

චෝදනාව ඉවත් කර ගැනීම හෝ සැකකරුවන් වරද පිළිගැනීම හැර වෙනත් පදනමක් මත ඇප ලබාදිය නොහැක.

අද දින නඩුව විභාග වන අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් අධිකරණ භූමියට පැමිණ සිටි අතර, පවතින සංවේදී තත්ත්වය සලකා පොලිස් නිලධාරීන් 100 කට අධික පිරිසක් යොදවා විශේෂ ආරක්ෂක රැකවල් යොදවා තිබිණි.

පොලිසිය සහ රජයේ නීතිඥවරයා අතර පවතින මෙම පරස්පරතාවය විසඳා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා නඩුව තාවකාලිකව කල් තැබූ අතර, පොලිසියේ අවසන් ලිඛිත වාර්තාව සලකා බැලීම සඳහා නඩුව අද පස්වරු 2:30 ට නැවත කැඳවීමට නියෝග කළේය.

පසුව, පස්වරු 2.20ට පමණ මෙම නඩුව අද දින නැවත ආරම්භ වූ අතර, එම අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරු කරුණු දක්වමින් කියා සිටියේ මේ සිද්ධියට අදාළ කාරණයක් මුල්කොටගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ දී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කර ඇති බවත් ඊට අමතරව තවත් රිට් පෙත්සමකුත් ගොණු කර ඇති බවයි. එසේම එම පෙත්සම් දෙක කිසි සේත් ඉවත් කර ගැනීමට සූදානම් නැති බවත් ඔවුන් සඳහන් කර තිබුණි.

සැකකාර පාර්ශවයන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් සහ රිට් පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර විමර්ශන නිලධාරීන්ව ඉලක්ක කර ගනිමින් එම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවත්, ඉන් අනතුරුව කරුණු දක්වන ලද රජයේ නීතීඥවරයා පවසා සිටියා. එම නිසා එම නඩුව එලෙසම පවත්වාගෙන යමින් සමථයකට යාමට සුදානමක් නොමැති බව ද ඔහු සඳහන් කර සිටියා.

ඒ අනුව එම මූලික අයිතිවාසිකම් පෙත්සම් සහ රිට් පෙත්සම් වල අඩංගු කරුණු සම්බන්ධයෙන් විධිමත් ආකාරයෙන් සලකා බැලීමක් සිදු කළ යුතු බැවින් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනත යටතේ තිබෙන චෝදනාව මෙම අවස්ථාවේ ඉවත් නොකර ගන්නා බවට අධිකරණයට දැනුම් දී තිබේ.

ත්‍රිකුණාමල වෙරළ තීරයේ අදාළ බුදුපිළිමය ආවරණය කිරීම සඳහා සකස් කර ඇති ඉදි කිරීම කිසි සේත්ම නීති විරෝධී ඉදිකිරීමක් නොවන බවට සහ තවත් අවස්ථාවක එය ඉදිකිරීමක් නොවන බව සඳහන් කරමින් සහ තර්ක කරමින්, දිගින් දිගට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ලබා ගැනීමට උත්සාහයක් දැරුව ද එම උත්සාහය ව්‍යවර්ථ විය.

කෙසේ වුවද වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය කාර්යාලයේ නිළධාරියාගෙන් මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අදාළ ඉදි කිරීම ඉදි කිරීමක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගන්නා ලදී. අනතුරුව පොලිසිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර තිබෙන E අංකය යටතේ වන කරුණු සම්බන්ධයෙන් බැලූ බැල්මට නඩුකරයක් තිබෙන බවට මහේස්ත්‍රාත්වරයා සැහීමකට පත්ව තිබේ.

එසේම වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ පනත යටතේ චෝදනාවක් තිබියදී මහේස්ත්‍රාත්වරයාට ඇප සම්බන්ධයෙන් සලකා බැලීමට එම පනතේ 31H වගන්තිය යටතේ කිසිදු නෛතික හැකියාවක් නොමැති බවට මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

කෙසේ වුවද මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට නම් වරද පිළිගෙන දඩයකට යටත්ව අවසන් කර ගත හැකි ආකාරයද මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇති අතර, එසේත් නැත්නම් වෙරළ සංරක්ෂණ සහ වෙරල සම්පත් කළමනාකරණ පනත යටතේ තිබෙන මෙම චෝදනාව ඉවත් කර ගන්නේ නම් ඇප සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියා.

මහේස්ත්‍රාත්තුමාගේ අප සම්බන්ධයෙන් වන නියෝගය අභියෝගයට ලක් කරන්නේ නම්, මහාධිකරණය ඉදිරියේ ඒ සම්බන්ධයෙන් කටයුතු කළ හැකි බව ද මහේස්ත්‍රාත් තුමා පෙන්වා දෙනු ලැබුවා. ඒත් සමගම මෙම වරදට අදාලව, එනම් වෙරළ සංරක්ෂණ සහ වෙරල සම්පත් කළමනාකරණ පනත යටතේ තිබෙන මෙම චෝදනාවලට අදාලව නෛතික හැකියාව මාහාධිකරණයට තිබෙන බවද මහේස්ත්‍රාත් වරයා සඳහන කර තිබේ.

(උපුටාගැනීම – News-19 / Whatnews.lk)