June 8, 2026

විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එරෙහිව, උන්වහන්සේලාගේ උප්පැන්න සහතිකවල සඳහන් ගිහි නාමයන් යටතේ නඩු පැවරීමට නීතිපති පරින්ද රණසිංහ එකඟතාව පළකර තිබේ.

කෙසේවෙතත්, මෙම පියවර ගත හැක්කේ අදාළ භික්ෂූන් වහන්සේලා අයත් වන මහානිකාය පාර්ශවයන් විසින් උන්වහන්සේලාව උපැවිදි කිරීමට (සිවුරු හැරවීමට) පියවර ගන්නේ නම් පමණක් බව ද එම එකඟතාවේ සඳහන් වේ.

විවිධ අපරාධවලට සැකපිට අත්අඩංගුවට ගන්නා භික්ෂූන් වහන්සේලා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විත්ති කූඩුවට නැංවීම හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මහාසංඝරත්නය මෑතකදී නීතිපතිවරයා හමු වූ අතර, එහිදී නීතිපතිවරයා සහ සංඝරත්නය අතර මෙම එකඟතාව ඇති වී තිබේ.

කිසියම් නඩුවක සැකකරුවකු වන භික්ෂූන් වහන්සේ නමක් උපැවිදි කිරීමේ යෝජනාවට විරුද්ධ වන්නේ නම්, එම භික්ෂුව අයත් වන නිකායේ මහානායක හිමියන් ඇතුළු පාර්ශවයන් විසින් තම විනය නීති පද්ධතියට (කතිකාවතට) අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා ඇත.

අදාළ නිකාය පාර්ශවයන් විසින් සිය විනය බලතල නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේ නම්, භික්ෂූන් වහන්සේලා වැරදි ක්‍රියාවල නිරතවීම වැළැක්වීමට එය බෙහෙවින් ඉවහල් වන බව ද ඔහු අවධාරණය කර තිබේ.

මෙහිදී තවදුරටත් සාකච්ඡා වී ඇත්තේ, යම් භික්ෂූන් වහන්සේ නමක් උපැවිදි කර ගිහියකු ලෙස නඩු පවරා අවසානයේදී ඔහු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් වුවහොත්, ඔහු කැමති නම් නැවතත් ශාසනයට ඇතුළත් කර ගැනීම (පැවිදි කිරීම) සුදුසු බවයි.

නීතිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ මහාසංඝරත්නය අතර පැවැති මෙම සාකච්ඡාවේදී විහාර හා දේවාලගම් පනත සහ එම පනතේ ඇතැම් වගන්තිවලට අදාළ නීතිමය අර්ථ නිරූපණයන් පිළිබඳව ද අවධානය යොමුකර තිබේ.

එහිදී නීතිපති පාරින්ද රණසිංහ පෙන්වාදී ඇත්තේ, නිකාය පාර්ශවයන් සිය විනය නීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිළිබඳව සමීප අවධානයකින් පසුවීම අත්‍යවශ්‍ය වන බවයි.

එමෙන්ම භික්ෂූන් වහන්සේලා විදේශගතවීමේදී තම මහානායක හිමිවරුන්ගෙන් අවසර ලබා ගැනීම වඩාත් සුදුසු බව ද මෙහිදී පෙන්වාදී ඇත.

(The Sunday Times)