August 31, 2023

එක්දින ජාත්‍යන්තර තරගයකදී අඛණ්ඩව 11 වැනි වරට ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු දෙනා දවා ගනිමින් නව ලෝක වාර්තාවක් ද තබමින් ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරග කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ආබාධයන්ට ලක් වීම හේතුවෙන් නම් දැරූ සුපිරි පන්දු යවන්නන් අහිමිව දසුන් ශානක පල්ලෙකැලේදී පිටියට පිවිසුණද පන්දු බලඇණිය සිය වගකීම අකුරට ඉටු කිරීම හේතුවෙන් මෙම ජයග්‍රහණය අත්පත් කර ගැනීමට කණ්ඩායමට හැකි වුණි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ජය ගත්තේ 11 වැනි එක්දින ජාත්‍යන්තර තරගය වන අතර එය ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම කිසි දිනෙක පසු කර නොගිය කඩඉමකි.

කාසිය වාසිය දිනූ ෂකිබ් අල් හසන් පළමුව පන්දුවට පහරදීමට ගත් තීරණය කිසියම් ලෙසකින් මතභේදකාරී විය.

කෙසේ වෙතත් ඔහුගේ තීරණය සාධාරණීකරණය කළේ නජ්මුල් හුසේන් ෂැන්ටෝ පමණි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ෂැන්ටෝ ලකුණු 89ක් ලබා ගත්ත ද සෙසු පිතිකරුවන්ගෙන් අපේක්ෂිත සහය නොලැබීමේ ප්‍රතිඵලයක් ලෙස පන්දුවාර 42.4කදී බංග්ලාදේශ ඉනිම ලකුණු 164කට සීමා විය.

සිය එක්දින හොඳම පන්දු යැවීම සටහන් කර ගත් මතීෂ පතිරණ ලකුණු 32කට කඩුලු 4ක් දවා ගත්තේය.

අනෙක් අන්තයෙන් මතීෂට අනගි සහයක් ලබා දුන් තීක්ෂණ කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

ධනංජය සහ වෙල්ලාලගේ ක්‍රියාත්මක කළ පන්දුවාර 10 ද ඒ හා සමානව වැදගත් වන්නේ බංග්ලාදේශ පිතිකරුවන්ට සිතූ සේ පහරදීමට අවස්ථාව ලබා නොදී මනා පාලනයක් පවත්වා ගනිමින් පීඩනය ගොඩනැඟීම නිසාවෙනි.

ශ්‍රී ලංකා පන්දු රකින්නන් ඉහළම මට්ටමේ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් නොකිරීම ද බංග්ලාදේශයට යම් සහනයක් වූ බවට සැක නැත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන් තවමත් සිය වගකීම නිසි ලෙස අවබෝධ කර ගෙන සිටී ද යන ප්‍රශ්නය මෙම තරගයේදී ද යළි මතු විය.

ලකුණු 165ක අසීරු නොවන ඉලක්කයක් හඹා යෑමට දිමුත් සමග පැතුම් ඉනිම ආරම්භ කළද ලකුණු 15ක් වෙද්දී ඔවුන් දෙදෙනාම ප්‍රේක්ෂකයන් වී සිටියහ.

දිගින් දිගටම තේරීම් කමිටුවේ අනුකම්පාව ලබන කුසල් මෙන්ඩිස් පන්දු 21 දී ලකුණු 5ක් පමණක් රැස්කරමින් යළි අසාර්ථක විය.

සදීර සහ අසලංක එකතුව කණ්ඩායම ජයග්‍රාහී මාවතට කැඳවා ගෙන එනු ලැබීය.

සදීර සිය සිව්වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 78කි.

සදීර සහ ධනංජය දවා ගනිමින්  බංග්ලාදේශය යළි තරගයට අවතීර්ණ වීමට වෑයම් කළ ද එය ව්‍යර්ථ කර දැමීමට අසලංක පියවර ගත්තේය.

ඔහු නොදැවී ලකුණු 62ක් ලබා ගත් අතර එය අසලංකගේ 9 වැනි එක්දින අර්ධ ශතකය වේ.